December 18, 2009

මාත් ධාරාණිපාතත්....



මගේ බිරිඳගේ මව ගුරු උපදේශකවරික් ලෙසින් කටයුතු කරන්නීය. ඇය දිනක් පැවසූ සිද්ධියක් ඇසුරෙන් මෙය ලියන්නෙමි. ඇය බොහෝ අවස්ථාවලදී කලාප ප්‍රශ්න පත්තර සෑදීමට මෙන්ම උත්තර පත්‍ර පරීක්ෂාවටද යන්නීය. මෙලෙස දිනක් ඇය උත්තර පත්‍ර පරීක්ෂාවට ගොස් ගෙදර එමින් සිටියාය. ඇගේ තව එක් මිතුරියක්ද එලෙසම උත්තර පත්‍ර පරීක්ෂාවට ගොස් එමින් සිටියාය.


"ආ... පේමා මිස්... ගෙදර යන්න..."
"ආ... ඔව් අනේ... අද හරිම මහන්සියි. මේ උත්තර පත්‍ර බැලිල්ල හින්දා.... දන්නේ නැද්ද ඉතින්..."
"බස් එකට තවම වෙලා තියෙනවා නේද? හපොයි.. මේ රස්නේ... ඉන්න බෑ..."
"හපෝ.. ඔව් ඔව්... මේ දවස්වල පෑවිල්ල... "
"ඒක නෙමයි මිස්. කොහොමද පොඩි උන්? දැන් කැම්පස් ඉවරද?"
"තාම නෑනේ... මේ අර අක්කගේ ළමයි ගෙදර ඇවිල්ලනේ... එයාලත් එක්කමයි. මේ දවස්වල වැකේෂන්ලු."
"අක්ක කිව්වේ..."
"අපේ අක්කගේ දුවලා. එයාගේ දුව මේ සැරේ සිස්සත්වේ ලියනවනේ. මෙහේ ඇවිල්ලා දවස් දෙක තුනකට..."
"හ..හා... මිස්ට කියන්න... මට හිනා ගියා පහේ ළමයෙක් ලියලා තිබ්බ එකක් මතක් වෙලා."
"ඒ මොකද්ද මිස්?"
"නෑ නෑ... රචනාවක් ලියන්න තිබුණා එක ප්‍රශ්ණ පත්තරේක, 'ධාරාණිපාත වැස්සකට මැදි වී' කියලා."
"ඉතින් ඉතින්.."
"එක ළමයෙක් ලියලා තිබ්බා මෙහෙම." කියමින් රචනාව විස්තර කළාය.



"දිනක් මම ධාරාණිපාතත් සමග ගමනක් ගියෙමි. අහස කළු කරගෙන ආවා. මහා වැස්සක් ආවා. මම ඉක්මනට අසල වූ ගසක් යටට ගියෙමි. ධාරාණිපාතට එතැන ඉඩ නැති නිසා වැස්සට මැදී විය....."


මෙය කියවන ඔබට හිනා නැගෙනු නොඅනුමානය. ප්‍රථම වතාවට මාද මෙම කතාවට සෑහෙන වේලාවක් සිනා සුනෙමි. නමුත් පසුව මා සිතන්නට වූයේ ඒ ළමයා කෙතරම් විශිෂ්ඨද යන්න ගැනය. ඔහු ධාරාණිපාත යන වචනයේ තේරුම තබා එම වචනයද මීට ප්‍රථම අසා නැතිබව සක්සුදක් සේ පැහැදිළිය. එය වැස්සට යෙදූ උපසර්ගයක් නොහොත් වැස්සේ තරම කෙතරම්ද යන්නට යෙදූ වචනයක් බව ඔහුට නොසිතෙන්නට ඇත. නමුත් ඔහුට රචනාවක් ලිය යුතුව ඇත. නැත්නම් ලකුණු අඩු වන්නේය. එමනිසා ඔහු ලියන්නට පටන් ගත්තේය.


"මොනා ලියන්ටද?... අහා!... මේ කියන්නේ ධාරාණිපාත‍යා ගැන නේද? මම එකක් ලියලා තියෙනවනේ 'මමයි නංගියි වැස්සකට අසු වී' කියලා එකක්. මේකත් එහෙමම ලියනවා."


දැන් බලන්න මේ ළමයාගේ අපූරු මනස. ඔහු මීට පෙර ලියා තිබූ රචනාවක් ගෙන එහි උක්තයන් මාරු කොට නව නිර්මාණයක් ඉදිරිපත් කරයි. එක් අතෙකින් ඔහුගේ නොදැනුවත් කම එළිවෙන විට අනිත් දෙසින් ඔහුගේ නිර්මාණශීලීත්වය එළිවන්නේය. නමුත් අප බොහෝ දෙනා අර අනුවණකම ලඟින් නවතිති. මෙය අප කතා කලයුතු මාතෘකාවකි. ඇයි අපට මෙම ඉතිරි 10% හෝ 50% හෝ කීය හෝ නොපෙනෙන්නෙ?. ක්‍රියාවක් නුවනින් විමසන්නේ ඉතා අල්ප දෙනෙකි. එම නිසා අද සිටවත් ක්‍රියාවක් දුටුවිට අන් අයුරින්ම එයට ප්‍රතිචාර දක්වා පසුව මොහොතක් සිතන්න.



6 comments:

  1. මේ තියෙන අමුතු නම් එක්ක, එහෙම අරුම පුදුම නමක් නැති උනොත් තමයි පුදුම..
    ඒකයි, එයා එහෙම හිතන්න ඇත්තේ..
    හෙ හේ.. කොහොම උනත් නියම කතාව..

    ReplyDelete
  2. අහඃ...
    ඔව් ඔව්... ඒකත් වෙන්න පුළුවන්...

    / නිශාන්ත...

    ReplyDelete
  3. Sthuthiyi Binguwa mewa apith ekka beda gannawata.. Meewa kiyawaddi welawa yanawa therenneth na..

    ReplyDelete
  4. බොහොම ස්තුතිවන්ත වෙනවා....
    තව මොනව හරි හම්බෞනොත් ලියන්නම්...

    /බිඟුවා...!

    ReplyDelete
  5. එල කතාව මචන්... :D

    ReplyDelete
  6. ස්තුතියි ඉන්දි

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!