December 6, 2016

වාර්බර්ග් ගමන

ඔන්න මං ආවනේ ස්වීඩන් රටට පොඩි පහේ ඔෆීසියේ රාජකාරියකට. ඉතින් මෙහේ ඇවිල්ලා අදට සති දෙකකුත් ගෙවිලා ගියා. පහුවෙච්ච සතියේ සෙනසුරාදා අපේ සුදු නැන්දා අපිව එක්ක ගියා එයාගේ ගම රට පෙන්වන්න. ගොතම්බර්ග් කියන සිදාදියේ ඉඳලා හැතැම්ම 30, 40 එහා ගම් පොජ්ජක තමා එයා ජීවත් උනේ. ඉතින් මමයි, මගේ මිතුරියයි දෙන්නා කෝච්චි කට්ටක් සෙට් කරගෙන ගමන පිටත් උනා. අපේ රටේ වගේ කේක් ගෙඩි උස්සාන යතහැකෑ මේ සිදාදියේ. මෙහේ උන්දැලෑ ගෙනියන්නේ මල් තමා. ඒකත් කියන්නේ හරි පාට ගෙනියන්න එපැයි. එක එක පාටට එක එක අරුත. ඉතින් දර්ශියයි මමයි කරක් ගහලා ගහලා යන්තම් ගැලපෙනවා කියලා හිතිච්ච මල් ගහක්ම ගත්තා මලුත් එක්කම.

ඊට පස්සේ අපි දෙන්නා කෝච්චි කට්ටේ නැගලා යන්න ගත්තා. යකෝ ඒකේ දෙවැනි පන්තිය කිව්වට අපේ රටේ එකේ පන්තියේ එව්වට වැඩිය සැපනේ බොලන්. ඒත් අපිද ඔව්වා ගනන් ගන්නේ.!!! එකක් කියන්න ඕනෑ... මුං හැබැයි හරි වෙලාවටම ගමන. වෙලාව නම් වෙලාව. සක්කරයා එනවා කිව්වත් ඊළඟ එකේ තමා එන්න වෙන්නේ පරක්කු උනොත්.. ඒක නම් සිරා..

ඉතින් අපි ඔය කියන ගමට යනකොටම සුදු නැන්දා මග බලාන උන්නා. අපිව උනුහුම් හග් එකකින් පිළිඅරගෙන එක්කාන ගියා එයාගේ දූ පොඩ්ඩගේ වැඩ පෙන්වන්න. අනේ කියන්න ඇස්වහක් නෑ අගේ කෙලි පොඩ්ඩ. ඒකි පණ කඩාන හෑන්ඩ් බෝල ගහනවා. ඉතින් අපිත් දුන්නා පොඩි චියර් පාරක්. අපිටත් ඉතින් කැසිල්ලනේ..  ඉතින් කොහොමහරි ඒ සෙල්ලම් අහවර වෙලා ගියා දවල්ට කන්න. යන අතරේ බීච් එකටත් ගොඩ වෙන්න අමතක කලේ නෑ. රැල්ල පාගන්න කියලා හිතුනාට  කොහෙද මේ ගෙරි සීතලනේ. අනික අපේ වගේ සිරා රැල්ලකුත් තිබ්බේ නෑ. මට හිතුනා නැන්දාට කියන්න මෙව්වද බීච්.. අපේනේ තියෙන්නේ බීච් කියලා. ඒත් පව්නේ කියලා හිතලා කටට ඉබ්බා ලාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ ගියා කන්න.



අපි හිතුවේ පාන් ගිලින්න වෙයි කියලා. මොකද මෙහේ උන් ගිලින්නේම පාන්නේ. ඒත් ඒ පාන සිරා බොලව්. අපේ වගේ පුස් පානක් නෙමෙයි. පෙති දෙක කනකොට බඩ පිරෙනවා. අනේ මන්දා මොනවාදාලා හදනවාද කියලා. ඒත් අපේ නැන්දා අපිට පාන් ගිල්ලුවේ නෑනේ. දර්ශියයි නිර්මාංශ හින්දා මොකක්ද රොටියක් කෑවා. මම නම් දුන්නා හෙන ඉස්සෝ ගොඩකට. පට්ට රහයි. මුන් කියනවා මේ රටේ ලොකු ඉස්සො ඉන්නේ මේ පලාතේලු. මං ඉඳගෙන හිටිය හින්දා හරියට හිනාවෙන්න බැරි උනා බොලව්..


අපේ රටේ පොඩිම ඉස්සත් මීට ලොකුයි කියලා මට ආයෙත් කියන්න හිතුනා කියහන්කෝ.. ඉතින් නැන්දාගේ හිත පාරන්නේ මොටද කියලා වහගෙන හිටියා. කියන්න බැරි උනානේ ඉස්සෝ කනකොට බොන්නේ සිදු වයින්ලු. ඉතින් නැන්දා ඒකකුත් ඕඩර් කලානේ. ඉතින් කාලා බීලා ඉවරවෙලා ගියා නැන්දාගේ ගෙදරට. ලස්සන පොඩි පැල්පත.. ඉතින් ගොහිල්ලා කෝපි දුන්නේ නැතෑ. මට අල්ලන්නේ නෑ ඔය කලු කෝපිය. ඒකටත් එක්ක දර්ශිය. මේකි එක හුස්මට ඇදලා ඇරපි. පස්සේ තමා දෙන්නේ ඒකි බීලා තියෙන්නේ බඩේ ආරස්සාවට....

 ඉතින් ඊටත් පස්සේ එයාගේ රතගායෙන්ම අපිව අපේ සිදාදි පොජ්ජට ගෙනත් ඇරලුවා. අපිත් එයාට සමුදීලා අපේ ගේ පොජ්ජට කකුල් පැද්දුවා හිමීටම.

මේ ඉන්නේ අපේ සුදු නැන්දා...

October 18, 2016

අදට තුනයි හයයි නමයයි



අපි බැඳලා අදට අවුරුදු 9ක් වෙනවානේ. මාර සීන් එක. කාලය ගත වෙනවා කියන්නේ හිතා ගන්නවත් බැරි වේගයෙන්. මට හිතෙන්නේම ඉස්සර කාලේ තත්පරේකට තිබ්බ  කාලය, දැන් තත්පරේකට තියෙන කාලයට වඩා ලොකු වෙන්න ඇති කියලාමයි. උදේ වැඩ පටන් අරගෙන පොඩ්ඩක් එහේ මෙහේ බලනකොට දවල් වෙලා ඔන්න. දවල්ට කාලා හරියට හුස්සමක් ගන්නකොට වැඩ ඇරෙන වෙලාව ඇවිල්ලා. ගෙදර ගිහින් රෑට කාල ටී.වී. එක දාන්න හදනකොටම ඔන්න මහ රෑ 12 වෙලා. ඉතින් නිදාගන්නවා ඇරෙන්න වෙන මක්ක කරන්නද.

මීට අවුරුදු 10 විතර ඉස්සර දවසකට ගොඩාක් වැඩ කලා හිතෙන වාරගාන නම් ඉහේ කෙස් ගානටත් වඩා වැඩියි. අනේ මන්දා මොනා වෙලාද කියලා. විශේෂයෙන් සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක. බුදු අම්මෝ! සිකුරාදා වැඩ ඉවර වෙලා ගෙදර ගිහින් නිදාගත්තාම, සෙනසුරාදා ඉරිදා දවස් දෙකම එක රෑ නින්දෙන්ම ඉවර වෙනවද මන්දා. මොකෝ ඇහැරෙනකොටම සඳුදා වෙලානේ. මේක මාර කෙලියක්නේ. ඉතින් බලහල්ලකෝ ඒකෙත් අරුමේ.


ඒක නෙමෙයි, අද කතාවේ 9, 6, 3 ඉලක්කම් තුනයිනේ. 9 කියන්නේ බැඳලා අවුරුදු නමයයි කියන එක. හය කියන්නේ අපේ ලොක්කගේ වයස. එතකොට තුන වෙන්නේ පොඩි එකාගේ වයස වෙන්න එපැයි.

මේ තියෙන්නේ පරණ ලියමනක්. "අපේ පුතා මෙළොව එළිය දකී"  

ආ කියන්න අමතක උනානේ. අද අපේ පොඩි උන්ගේ සීයාගේ උපන්දිනේ. ඔන්න එයාටත් සුබ පැතුම් එක කලා. කාගේ මොන උත්සවේ ආවත් උන් දෙන්නා අහනවා මට මොනවද තෑගි තියෙන්නේ කියලා. බලහන්කෝ ඒකෙත් හැටි. උන්ගේ උපන්දිනේටත් උන්ට තෑගි. අපේ උපන්දිනේටත් උන්ට තෑගි.


කතාව කෙටියි. අද වැඩ ගොඩයි. අරුන් දෙන්නා එක්ක කොහේ හරි යන්න ඕනෑ. රැජිණටත් ස්පෙෂල් සම්තින් දෙන්න ඕනෑනේ. හවස පන්සල් යන්නත් එපැයි. ඉතින් එහෙනම් ඕං මං ගියා.



September 6, 2016

දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි (හාස්‍ය සහිතයි)


යටගිය දවසක, එක් රාත්‍රියක මා මාගේ අජානේය මෝටර් රථයෙන් ගමනක් යමින් සිටියෙම්හ. හදිසියේම රථයේ ඉන්ධන තත්වය පහල ගිය බව දුට හෙයින්ද එය වහා පිරවිය යුතු හෙයින්ද පිරවුම් හලකට යෑමට සූදානම්වම්හ. ර්‍ර්ට මීට මත්තෙන් පසුම්බිය ගෙන එහි කහවනු තත්වය පිරික්සනු කල්හි එහි මද බව දැන ස්වයංක්‍රීය ටේලර් මහතා සොයා යනු කැමැත්තෙන් ඒදෙසට රිය හැරවම්හ. අදාල තැන පැමිණි කල රියෙන් බට යන්ත්‍රය වෙත නික්ම අදාළ පත ඇතුළු කොට රහස් පද ක්‍රියාත්මක කරම්හ.

බැංකු ජාලයට සාර්ථකව ඇතුළු වූ කල අදාළ මුදල සටහන් කල පසු තහවුරු කිරීම කල පසුවද එක් පණිවුඩක් වන්නේය. "ඔබේ කාඩ් පත අවළංගු කර ඇත." යන්න එය විය. මාගේ දෙනෙත් අදහා ගත නොවන්නේ මන්ද අවළංගු නම් කෙසේ ජාල ගත වූයෙන්ය. කිසියම් සැක කටයුත්තෙක් මෙම ජාලයට රිංගා මාගේ ගිණුමට සැසීමක් කර ඇත්ද, නැතහොත් ස්වයංක්‍රීය ටේලර් මහතාට ද්‍යුතක්වක් කර ඇත්ද යනාදී නෙයෙකුත් අදහස් මනසට ගලනාතුරේ නැවතත් උත්සාහයක යෙදුනෙම්හ. අවසන් ඵලයේ කිසිදු වෙනසක් නොවීය. තුන්වරක් අවසනදී සතුටු නොවූයෙන් වෙනත් ස්වයංක්‍රීය ටේලර් මහතෙක් සොයා යන්නට නීර්ණය වන්නේය. තරමක් හුරුපුරුදු ප්‍රදේශයක වූ එම තැන්හි වූ ස්වයංක්‍රීය ටේලර් මහතාද පෙර සේම මාගේ කාඩ් පතේ අවළංගු භාවය තහවුරු කරන්න වූයෙන් මට කිසි සිතා ගත නොවන්හ. දැන් දැන් ඇත්තේ කහවනු ගැටළුව නොව මාගේ අජානේයා මග නතර වීමෙන් මට අත්වන්නට යන ඉරණම ගැනය. මට මැවී පෙනෙන්නේ වීථියේ එක් කොනක නතර වී හිරු නගිනාතුරු කල්හරිනා මාය.

අහෝ!...

මාගේ පුරාණ පිනකි. වෙනත් බැංකුවකින් මා ගත් රන් පිහියය. ඒ නම් ණය පතය. එයත් රැගෙන මා වහාම ගොස් අජානේයා සවිමත් කොට ගමනාවසානට වම්හ.

ඉදින් ඊට පසු දිනෙක කාඩ්පත සක්‍රිය කරනු වස් අදාළ බැංකුව වෙත පිය මැන අදාළ පත්‍රිකා පුරවා භාරදුන්නේද නව කාඩ්පත නිකුත් කරනුයේ සතියකින් බව දැන්වූයෙන් ඒ ගැන කලකිරීමෙන් ආපසු පියමැන්නේ සතියක් ඉවසාසිටිනු හැර යමක් කල නොහැකි නියාවෙනි. දින කිහිපයකට පසුව නිවසට ලැබුණු ලිපියේ සටහන් වූයේ ඔබේ කාඩ්පත සූදානම්ය, මෙන්න ඔබේ නව රහස් පදය, කරුණාකර අදාළ ශාඛාවෙන් එය ලබා ගන්න යනුවෙනි.

ඒ දුටුසැනෙන් ඉපිළ ගිය සතුටින් යුතුව පසුදා බැංකුව වෙත පිය මැන්නේ යාමට පෙරද දුරකතනයෙන් කාඩ්පත ගැන විමසීමකින් පසුවය. මාගේ වාරය එනතුරා සිට එතැන සිටි නිළධාරිණියට මා පැමිණි කාරණය පැවසුවෙමි. ඇය කාඩ්පත් සමූහයක මගේ කාඩ්පත් සොයන්නට වීය. තත්පර මිනිත්තු ගත වීය. ඇගේ මුහුණ ටිකෙන් ටික අඳුරුවනු දුටු මා විමසූයේ කුමක් වීදැයි යනුවෙනි. ඇය පැවසූයේ කාඩ්පත පැමිණ නැති බවය. නමුත් මට ලිපිය ලැබූ බව පවසා තවත් ටිකක් සොයා බලන්නට කීමි. ඇය තව කාගෙන්දෝ තොරතුරු විමසා තවත් කාඩ් සමූහයක් රැගෙන'විත් එයද පිරික්සන්ට විය.

අහෝ!!!

මාගේ කාලය අපතේ ගිය මිස වෙන කිසිවක් නැත. දැන්ම දැන් මගේ රතු කට්ට පැන හමාරය. ඉතින් මා පියමැන්නේ කළමණාකරු වෙතය. ඔහුට පර භාෂාවෙන් ඇමතීමට ගතිමි. ශ්‍රී ලංකා පුරවරයේ මව්බසට වඩා පර බසට වැඩි ඉඩක් දීමට පුරුදු වී සිටින මිනිසුන් වඩා වැඩි බවත් පර බස දෙසන්නන් ලොකු ඇත්තන්යැයි සිතීමට පුරුදුව සිටින නියාවත් දන්නා බැවින් එසේ කිරීමට සිත්වීය. ඔබේ අකාර්ක්ෂතාවය මාගේ නොසතුටුබාවයත් කණගාටුවත් පල කෙළෙමි. මගේ කිපුණු සිත යන්තම් පහව යන කල්හි ඔහුට මාගේ දුරකතන අංකය දී ආපසු පැමිණියෙමි.

ඉතින් හෝරා දෙකකට පසුව දැනුම් දීමක් වන්නේය. මාගේ කාඩ්පත සූදානම්ය. රැගෙන යන්න ලෙසිනි.
නැවතත් බැංකුව වෙත පියමැන කාඩ්පත රැගෙන ආපසු පැමිණියෙමි.

එතෙකින් කතාව නිමැවන්නේය.

---------------------------


මේක සිද්ධ වුනේ මටමයි. දෙහිවල එන්එස්බී (NSB) බැංකුවේ වැඩ මෙන්න මෙහෙමයි.

1. මගේ කාඩ් එක අවලංගු කරලා මට දන්වන්නේ නැතිව. බැරිද ලියුම් කරදහියක් එවන්න. කෝල් එකක් දෙන්න. වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකෙන් මාව ගොඩ ගියා. ඒක තිබ්බේ නැත්නම් තවමත් මම කාර් එක තල්ලු කර කර ඉන්නවා. මල පනින එක සාධාරණ නැද්ද?

2. ඔන්න ලි‍යුම ආවා කාඩ් එක නෑලු. කාඩ් ගහන්නේ එක කස්ටියක්ලු. ලියුම් යවන්නේ තව කස්ටියක්ලු. ඉතින් මට පාන්ද. ඔයවගේ පොඩි සීන් එකක්වත් හරියට සින්ක් කර ගන්න බැරිද මුන්ට තාම. වැඩේ බෙදන එක ඒ ඒ ආයතනට අදාළ කටයුත්තක්. ඒත් එකට වග කියන මැනේජර් කාරයෙකුත් ඉන්න එපැයි. ඒ මනුස්සයා තමන්ගේ රාජකාරිය කොරන හැටි කියලා තමා අපිට පේන්නේ. ආයෙත් මල පනින එක සාධාරණ නැද්ද?

3. කාඩ් ගොඩේ මගේ කාඩ් එක හොයන්න පැය භාගයක් විතර ගියා. ඒත් හම්බ උනේ නෑ. යකෝ මං කියන්නේ, ඕක අකාරාදී පිළිවෙලට තියාගත්තනම් විනාඩියටත් අඩුවෙන් ඒක කරන්න තිබ්බනේ. ඒක ඕනෑ පොඩි එකෙක්ට තේරෙනවා. ඉතින් මෙහෙම හිතන්න උපාධි ගහන්න ඕනෑ නෑ. තමන්ගේ රාජකාරිය ඉක්මනට කරන්න පොඩ්ඩක් හිතන්න විතරයි ඕනෑ. එහෙම උනා නම් ඒ නිළධාරිනියගේත් මගේත් දෙන්නාගේම වෙලාව ඉතුරුයි. මං පැයක් බලන් ඉඳලා නෑ කියලා අහගන්නකොට මල පනින්නේ නැද්ද කියහන්කෝ.

4. මට ආපහු කෝල් කලානේ කාඩ් එක ආවා කියන්න. යකෝ ඒ කතාකරපු නෝනට කට ඇරෙන්නේ නෑ කියහන්කෝ මහත්තයා කියන්න. පොඩ්ඩක් ගරු සරුව කතා කරන්න. අනිත් බැංකු ඔක්කොම වගේ කතා කරන්නේ මිස්ටර් කියලා හරි මහත්තයා කියලා හරි. මට කිව්වේ අන්න ඔයාගේ කාඩ් එක ඇවිල්ලා. ඇවිත් ගන්න. කෝ මුන්ගේ ගරු සරුව. ඉතින් ආයෙත් මල කියන එක අහන්න දෙයක්ද.

5. යකෝ මං බැනලා ආපහු ආවාම පැයකින් කියනවා කාඩ් එක ආවලු. මට නම් සාධාරණ සැකයක් ආවා, කාඩ් එක තිබුණා හොයා ගන්න බැරිව හිටියේ. වැඩකාරයෙක් ඒක හොයලා දුන්නා. පස්සේ මට කෝල් කලා දැන් කාඩ් එක ආවා කියල. එහෙම පුස් හැඟීමක් මට එන්නේ එයාලම කලින් කරපු වැඩ හින්දයි. ඇත්තටම උනේත් කාඩ් එක දැන් ආවානම් ඒත් කරනන් දෙයක් නෑ. මං සැක කරලා ඉවරයි. ඉතින් පාරිභෝගියකාට සලකන් හැටි තමා මේ.

ඉතින් මේ ලියමන කවදාහරි ඔය බැංකුවේ මහත්තයෙක්  කියැව්වොත් මීට පස්සේවත් පාරිභෝගියකා ගැන හිතාවි කියලා හිතෙනවා. නැත්නම් පඩියක් දීලා මැනේජර් පුටුවේ තියන්නේ පුටු රත් කරන්න නෙමෙයි.


මං කියන්නේ ඉබි ගමනේ යන ගමන දැන්වත් නවතලා තරඟකාරී බැංකු ප්‍රවාහයේ ඉස්සරහින් යන්න මීට වඩා පාරිභෝගියකා ගැන හිතන්නේ ඕනෑ. ඔවුන්ගේ පහසුව තකා වැඩ කරන්න ඕනෑ. මීට වැඩිය මේක ගැන කියන්න ඕනෑ නෑ. ඔතැන ඔන්නේ අපිට වඩා ඉගෙන ගත්ත මහත්තුරු නෝනලා. ඉතින් ඔන්න අදට මං නැවතුනා....

September 2, 2016

මට ආයෙත් ලියන්න හිතුනා



කාර්ය්‍ය බහුලවීමත්, අවිවේකී ගතිය වැඩි වීමත්, මගේ "තස්මේනියන් යක්කු" දෙන්නා එක්ක නාඩගන් නැටීමත් යන කරුණු කාරණා හින්දා බොලොග්යට ලියන්නත් බැරිව ගියා. මූණු පොතේ කොහොමත් සක්‍රිය නැති හින්දා අන්තර්ජාලයේ සැරිසැරීම අවම මට්ටමක්යි තිබ්බේ. ආ කියන්න අමතක උනානේ තවත් එකක්.... එදා පරිඝණක තරඟාවලියෙන් පස්සේ පොඩ්ඩක් විතර ඒ ගේමටත් ඇබ්බැහි උනානේ. ඉතින් ලියන්න තිබ්බ වෙලාවත් ඒකට යට උනා. දැන් දැන් ආයේත් ඒ ඇබ්බැහිකමෙනුයි අනිත් කරුණුයි පොඩ්ඩක් සෙටල් හින්දා මොනවා හරි කුරුටු ගාන්න හිතුනා.

මේක නිකන් දැන්වීමක් වගෙයි "මං ආයෙත් එනවා" කියන්නා වාගේ...