October 18, 2016

අදට තුනයි හයයි නමයයි



අපි බැඳලා අදට අවුරුදු 9ක් වෙනවානේ. මාර සීන් එක. කාලය ගත වෙනවා කියන්නේ හිතා ගන්නවත් බැරි වේගයෙන්. මට හිතෙන්නේම ඉස්සර කාලේ තත්පරේකට තිබ්බ  කාලය, දැන් තත්පරේකට තියෙන කාලයට වඩා ලොකු වෙන්න ඇති කියලාමයි. උදේ වැඩ පටන් අරගෙන පොඩ්ඩක් එහේ මෙහේ බලනකොට දවල් වෙලා ඔන්න. දවල්ට කාලා හරියට හුස්සමක් ගන්නකොට වැඩ ඇරෙන වෙලාව ඇවිල්ලා. ගෙදර ගිහින් රෑට කාල ටී.වී. එක දාන්න හදනකොටම ඔන්න මහ රෑ 12 වෙලා. ඉතින් නිදාගන්නවා ඇරෙන්න වෙන මක්ක කරන්නද.

මීට අවුරුදු 10 විතර ඉස්සර දවසකට ගොඩාක් වැඩ කලා හිතෙන වාරගාන නම් ඉහේ කෙස් ගානටත් වඩා වැඩියි. අනේ මන්දා මොනා වෙලාද කියලා. විශේෂයෙන් සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක. බුදු අම්මෝ! සිකුරාදා වැඩ ඉවර වෙලා ගෙදර ගිහින් නිදාගත්තාම, සෙනසුරාදා ඉරිදා දවස් දෙකම එක රෑ නින්දෙන්ම ඉවර වෙනවද මන්දා. මොකෝ ඇහැරෙනකොටම සඳුදා වෙලානේ. මේක මාර කෙලියක්නේ. ඉතින් බලහල්ලකෝ ඒකෙත් අරුමේ.


ඒක නෙමෙයි, අද කතාවේ 9, 6, 3 ඉලක්කම් තුනයිනේ. 9 කියන්නේ බැඳලා අවුරුදු නමයයි කියන එක. හය කියන්නේ අපේ ලොක්කගේ වයස. එතකොට තුන වෙන්නේ පොඩි එකාගේ වයස වෙන්න එපැයි.

මේ තියෙන්නේ පරණ ලියමනක්. "අපේ පුතා මෙළොව එළිය දකී"  

ආ කියන්න අමතක උනානේ. අද අපේ පොඩි උන්ගේ සීයාගේ උපන්දිනේ. ඔන්න එයාටත් සුබ පැතුම් එක කලා. කාගේ මොන උත්සවේ ආවත් උන් දෙන්නා අහනවා මට මොනවද තෑගි තියෙන්නේ කියලා. බලහන්කෝ ඒකෙත් හැටි. උන්ගේ උපන්දිනේටත් උන්ට තෑගි. අපේ උපන්දිනේටත් උන්ට තෑගි.


කතාව කෙටියි. අද වැඩ ගොඩයි. අරුන් දෙන්නා එක්ක කොහේ හරි යන්න ඕනෑ. රැජිණටත් ස්පෙෂල් සම්තින් දෙන්න ඕනෑනේ. හවස පන්සල් යන්නත් එපැයි. ඉතින් එහෙනම් ඕං මං ගියා.