April 26, 2013

සිඟිති අවුරුදු උත්සවය



සිංහල අලුත් අවුරුද්ද ගෙවිලා ගිහින් දින කිහිපයක් ගත වෙලා. සැවොම තම තමන්ගේ පෙර කල කී කටයුතු නැවත් අරඹලා. ගෙවුණු සති කිහිපය අතීතයටම ගිහින්. ඒ නිසාම මා ලද අත්දැකීම් කිහිපයක් මෙසේ අකුරු කරන්නට සිත්වීය. එය හුදෙක්ම පෙර පාසැල් දරුවන්ගේ සිඟිති අවුරුදු උත්සව ඇසුරෙන් නිමැවූවක්ම විය. එය සත්‍යය වශයෙන්ම ඇගයීමට ලක්විය යුතු තරමේ කටයුත්තක් වූයෙන් මෙසේ අකුරු කරන්නට සිත්වීමි.

පෙරදා මෙන් නොව එදා අහස්කුස පුරාවටම එකදු කළු පැහැති වළාවක්වත් නොවීය. නිල්වන් ගඟන තලාව තැනින් තැන වසාගත් පුළුන්වන් සුදෝ සුදු වළාවන් අතරින් පතර අකාසයට ආනන්දයක් එක කරන්නට විය. මේ අතරේ එක් පෙරපාසැලක සිඟිති අලුත් අවුරුද්ද සමරන්නට නෙයෙක් කාරණා කටයුතු සිදුවෙමින් තිබෙන්නට විය. අවුරුදු කුමාරයා එක් නගර මාධ්‍යයක සිට ඔවුන්ගේ අවුරුදු උත්සවය දක්වා දිවෙන මහා මාර්ගයේ පෙරහැරින් පැමිණීමට කටයුතු යොදා තිබුණි. අසරුවන් පිට නැගි අවුරුදු සිඟිති කුමාරයා මහත ආඩම්බර ලීලාවෙන් පෙරමුණේ මග හසුරවන්න්ට විය. එකා පසුපස ඇදෙන කඩි රැලක් මෙන් අවුරුදු කුමාරය මග යමින් ඔහුගේ පරිවාරක පිරිසද මහත් ආඩම්බරයෙන් යුතුව අවුරුදු උත්සවය දෙසට මහත් උත්වසාකාරයෙන් සැරසුණු ගැල්වල නැගී පිය මනින්නට විය. මග අසුරාගත් පිරිස අත්පොළසන් දෙමින් ජය ඝෝෂා නගද්දීම උදෑසන අවුරුදු කුමාරයා සිඟිති අවුරුදු උත්සවයට අවුරුදු උදාකර දෙන්නට අසුපිටින් බිමට බට වන්නට විය. රතිඤ්ඤා හඬ මහා නාද සදද්දී මනා වස්ත්‍රාභරණයෙන් සරසුණු අවුරුදු කුමාරයා මෙන්ම සෙසු පිරිවරද සෙමෙන් සෙමෙන් අලංකෘත ගැල්වලින් බිමට වන්නට වූයේ අවුරුදු සැණකෙලිය ආරම්හ කරන්නට අවසර දෙන්නාක් මෙනි. අවුරුදු කුමාරයා පිළිගන්නට පෙර පාසැලේ දරුවන් මහත් ආසාවෙන් පෙළගැසී සිටි ආකාරය කාගෙත් නෙත් සිත් පිනවන්නට කරුණක් නොවූයේ නම් එය මහත් පුදුමයෙකි. සුපුරුදු පරිදිම පාසැල් ගීතය වාදනය වූයෙන් සියල්ලෝම තම අසුනින් නැගිට ආචාර සමාචාර කරන්නට වූහ.

මීළඟට එළඹි පිළිගැනීමේ කතාව කාටත් අමන්දානන්දයක් වූයේ එහි වූ වදන් වැකි නිසාම නොව එහි වූ අයුර නිසාවෙන්මය. මේ සඳහා දරුදැරියන් කිහිපදෙනෙක්ම වූයෙන් පිළිගැනීමේ කතාව එකිනෙකා අතර හුවමාරු කිරීමට සිදුවන්නට විය. මහා සභාවක් මැද කිසි පැකිළීමකින් තොරව තම බත්පත එකිනෙකාතර බෙදා ගන්නේ කෙසේද ඒ යුරින්ම මේ දරුවන් කතාවද මනා සේ බෙදා ගන්නට විය. සැවොටම පොදු වූ දුරස්ථපාලක ශබ්දවාහිනිය එකිනෙකා අතර හුවමරු කෙරමින් මනා සංයමයෙකින් යුතුව තමන්ගේ රාජකාරිය නෙහොත් පිළිගැනීමේ සංවාදය කාගෙත් නෙතු මොහොතකට නවතාලන්නට තරම හේතු කරවන්නට මේ සිඟිත්තන් සමත් නොවූයේ නම් එය මහත් මුසාවකි. ඒ බව සංවාදය අවසන නැගුණු අත්පොළසන් නාදය සාක්ෂයම විය.

සැවොටම ආදර්ශයක්, ඔවදනක් ලෙසින් කුඩා සිඟිත්තෝ අවුරුදු සිරිත් විරිත් ඉටු කරන්නට වූහ. සුදු ඇඳුමෙන් සැරසී ගත් සිඟිත්තෝ පිටියේ එක් කොනකින් ඇරඹි ගමන අවසන් වූයේ බෞද්ධයාගේ ගෞරවය මහත්ව ඇති පන්සල වෙතට පිය තබමිනි. කාටත් සුපුරුදු කන්කලු ඝන්ඨා නාදය සෙමෙන් මැකීයද්දී ඔවුන් එළඹියේ අවුරුදු සිරිත් අනුව ළිප ගිනි මෙලවීමාදී නැකත් ඉටු කිරීමටය. වැඩ ඇල්ලීම අවසන් කල ඔවුන් චාරීත්‍රානූකූලව අවුරුදු සමරන්න විය.

රන්වන් වටනා කාලය සෙමෙන් ගත වෙද්දී මුළු උත්සව පිටියම එකම එක රංග භූමියක් වූයේ සිඟිත්තන්ගේ හැකියාවෙන්මය. තැන තැන විසිර ගත් කුඩා කුඩා කවයන්ගෙත් සැදුම් ලත් කුඩා දරුවන් එකෙනෙකා හැපෙමින් මහත් දැක්මකට අරාඳිනා අයුරු කා අතරත් සිනා ගෙනෙන්නට විය. ඒ ඒ

 කවයන්ට අන‍න්‍යය වූ පැහැයක් වූයෙන් මේ නම් වෙනත් කිසිවක් නොව එකිනෙකාගේ කැලෑසිය වෙන් කර හඳුනා ගැනීමට යොදාගත් මනා ප්‍රයෝගයක් බව මොළ ඇත්තවුන්ට සක්සුදක්ම වූයේ එහි වූ ගුණාත්මකභාවය අගය කරමින්ය. නොයෙක් වාර්ණයෙන් යුතු වූ ඇඳුම් ආයිත්තම් නිසාවෙන් එකිනෙකා පහසුවෙන් වෙන්කර ගත හැකිවා මෙන්ම තමන්ගේ කුලකයේ සෙසුන් හා එක්වීමට මහත් පහසුවක් වන්නට විය. මෙය නරඹන්නට ආනන්දයක් වූයේ එක් එක් වසස් මට්ටමේ දරුවන්ගේ නර්තනයන් බොහෝ වෙනස්විය යුතු වුවත් සි‍යළුදෙනාම පාහේ එකම අයුරින් නර්තනයේ යෙදීමේ අපූරුව නිසාය. අවුරුදු දෙක හමාරක පටන් අවුරුදු පහ දක්වා වයස් මට්ටම්වල සිටි මෙම සිඟිත්තන් එකම නර්තනයක සිදු කලේ කෙසේදැයි බොහෝ දෙනා අතර වූ සංවාදාත්මක කරුණකි. මෙහිලා කඩතුරාව පිටුපස සිටි අයවලුන් තමා හෙලූ දහඩිය ගඟට කැපූ ඉණි නොවී මහා බළකොටුවකට තැනි පළමු ගොඩල වූයේ යැයි සිතමින් සිහින්ව ආඩම්බර නොවූවා නොවේ.

එකිනෙකට වෙනස් වූ ගීත කිහිපයකට රංගන දායකත්වයට දීමෙන් පසුව තම තමගේ කැලෑසි වෙතට පිය නැගි සිඟිත්තෝ රිසි රිසියේ අවුරුදු කැවිලිවල රස බලන්නට වූහ.ඉක්බිති එළැඹෙන ජන ක්‍රීඩා සඳහා අවැසි ජවය ශක්තිය ලබා ගැනුමට මෙන් ඔවුන්ගේ අහාර ගැනීම වෙනදාට වඩා වෙනස් අයුරකින් සිද්ද වූයේ රසකැවිලි අවුරා තිබූ අයුර නිසාවෙන් විය යුතුය. මනා ලෙස සංවිධානය කොට තිබූ ක්‍රිඩා වයසට ගැලපෙන අයුරින් මෙන්ම ශ්‍රී ලංකේය අතීතය හා මනාව ගැලපෙන ලෙසින් සැකසුනු අයුරක් කාහටත් පැහැදිළි වන්නට විය.

අවුරුදු පිටියේ සැකසුම හා අලංකරණය ගැන අකුරු කිහිපයක් සටහන් නොකලේ වී නම් සටහන සම්පූර්ණ නොවන බව හැඟුනෙන් මෙසේ වදන් එක් කරන්නට සිත් විය. දෙමාපියන් උදෙසා සැකසුණු කුටි සරසා තිබුණේ පිදුරු, ලණු හා පොල් අතු ආශ්‍රයෙනි. එමගින් ලද අලංකෘත බව වඩ වඩාත් ඔප් නැංවීමට දායක වූයේ ඒ හා සමාන්තරව දිවෙන්නාවූ උණ බට වැටෙනි. කතිර ආකාරයට සකැසුනු උණ වැට වටා එතුනු පිදුරු ලණුව මනා ගැලපුමක්ම විය. ජෝතිෂ්‍යයට අනුව අප හා බැඳි මේෂ, මීනාදි ලග්න දොලොස මේ කුටි අලංකරණයට දුන් දායකත්වය පැසසිය යුතුය. අප හා යමින් ජීවන ගමනට දිරි දෙන හිරු හා සඳු එක් පෙදෙසකින් කාගේත් මන බඳින්නට විය. තවත් පසෙක පන්සල, ඝන්ඨා කුලුණ, ළිඳ හා ගැමි ගෙය අවුරුදු පිටියේ  සුන්දරත්වය මෙන්ම සිංහල සම්ප්‍රදායද අමතක නොකලබවක් සනිටුහන් කලේය. ඔංචිල්ලාව, කොට්ටාපොර තරඟ සඳහා සැකසුණු පොල් කඳන් කිහිපයත් අවුරුදු අසිරිය වඩ වඩාත් ඔප්නංවන්නට විය. මෙසේ අකුරු කරන්නට නොහැකි තරමේ මනා පිටිය සැකසුමක් දක්නට විය. පිටියේ වූ ඉඩ ප්‍රමාණ අඩුව හැරෙන්නට සටහන් කල යුතු තරමේ දොසක් නොවන්නට තරම් ඔවුහු සාර්ථක වූහ. එයද සිදුවන්නට ඇත්තේ අනුමාන කලා වූ ප්‍රමාණයටත් වඩා පිරිස් මෙහි පැමිණීම නිසාවෙන් විය යුතුය.


කෙසේ වෙතත් මෙවන් සාර්ථක කටයුත්තක් ඉටු කිරීමෙහිලා දෙමාපියන් දරුවන් මෙන්ම පාසැලේ ගුරුවරුන් දැක්වූ මහත් වෙහෙස නැවත නැවතත් අගය කල යුතුය. ශ්‍රී ලංකේය අභිමානය, ප්‍රෞඪ ඉතිහාසය මතු අනාවකටත් ශේෂ කරමින්, දායාද කරමින් නිවැරදි අයුර නිවැරදි ආකාරයටම පෙන්වාදෙමින් මෙසේ කරන්නා වූ මහත් සමාජ සත්කාරයන් පැසසිය යුතුමය. මෙයින් ලැබෙන අතුරු පල එනම් ප්‍රසිද්ධිය, ගෞරවය හා පිළිගැනීම එම පොර පාසැල ලැබිය යුත්තක් මෙන්ම එය නිසියාකාරයෙන් ඔවුන්ට ලැබෙන්නට ඇත. පිදිය යුත්තන් පිදිය යුතු සේම අගය කල යුත්තන්ද අගය කල යුතුය. පැසසිය යුතුය.