October 27, 2010

අපේ කළු සූටි



මෙතන ආරස්සාව හොඳයි වගේ. කාටවත් පේන්නෙත් නෑ. අප්පට සිරි. අර මොකාද අර? ම්..ම්...
නියම දඩයම් වෙලාව. පොඩ්ඩක් දුවන්ඩ දීලා එලවනවා. කිසිම ගතියක් නෑ එක පාරම අල්ලගත්තොත්...
ඔන්න කාටවත් කියන්න එපා මන් මෙතන ඉන්නවා කියලා....





ගේ ඇතුලේ හරිම රස්නෙයි. මෙතන නියම පොට් එක.
මම යෝජනා කරනවා හැම පූසෙකුටම මෙවැනි මල් පෝච්චිය බැගින් දෙන්න ඕනෑ කියලා


අර මොකාදා ඒ පාර. පොඩි ලේන් පැටියෙක් නේද?
මම ඕවා ගනන් ගන්නේ නෑනේ. මට හෙන නිදිමතයි.
අනික මම හරියට දැක්කෙත් නෑ මොකාද කියලා.
(වරෙන්කො කිට්ටුවට දෙන්න තොට.....)

October 25, 2010

දුන්නා ලේ බිඳු මෙන්න මෙහෙමා

පහුගිය සතියේ සිකුරාදා අපි ගියා කළුතර බෝධියට. මමයි බිරිඳයි පුතයි. අපි තුන්දෙනා එක්ක තව නෑදෑ පිරිසකුත් හිටියා. පෝය දවස හින්දා සිල්ගත්ත උපාසක උපාසිකාවන් වගේම බෝධිය වඳින්නත් ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ඒත් එක්කම එදා අයිටීඑන්(ITN) එකෙන් පෝදා වැඩසටහනකුත් සංවිධානය කරලා තිබ්බා.

අපි සුපුරුදු විදියට මල් පූජා කරලා, පහන් පත්තු කරලා හඳුන්කූරු දල්වලා එහෙම පන්සිල් අරගෙන බොදු සිරිත් විරිත් අනුව සිටියා. ඒත් එක්කම මම දැක්කා ලේ දං දීමේ වැඩසටහනක් තියෙනවා. අපි ආවේ අර නෑදෑ කට්ටියක් එක්ක නිසා මන් ඇහුවා කවුරුවත් ඉන්නවද ලේ දෙන්න කැමති කියලා. මොකද මම විතරක් නම් අනිත් අයට පරක්කු වුනොත් එහෙම හරි නෑනේ කියලා හිතුන හින්දා.

අනේ බලනකොට එක නංගී කෙනෙක් හරිම ආසාවෙන් ඔව් කිව්වා. මටත් ෆිට්. අවාසනාවට බිරිඳට ලේ දෙන්න විදියක් නෑ. එයාට තියෙන අසනීප තත්වයක් හින්දා. ඉතින් ඔන්න ඔහොම සෙට් වෙච්ච පාර මමයි අර නංගියි දෙන්නම ලේ දීලා අපේ ඔක්කොටම පිං සිද්ධ වේවා කියලා හිතාගෙන ගෙදර ආවා.

ලේ ගන්න තැන හිටිය නර්ස් නෝනා නම් හරිම ලස්සනයි.


මා වැනි                          බිලින්දා
මරුවා යයිද                   කැන්දා
අනේ ඒ                          හින්දා
දෙන්න ලේ බිඳු මාමා  නැන්දා



අනේ පොඩි               බිලින්දා
යන්නේ කෙලෙස       කැන්දා
අපි ඉන්න                   හින්දා
දුවයි මරුවා හෙට     අනින්දා





October 18, 2010

ඉදිරියටම යව්




නෝර්වේ රටේදී (සොන්ග්ස්වාන්)
2009 මැයි 1 වැනිදා 

October 15, 2010

අපේ ගෙදර - 3

ඔන්න දැන් අත්තිවාරමේ වැඩේ නැගලා යනවා. පස් කැපිල්ල ඉවරයි. දැන් තියෙන්නේ කොනක ඉඳලා හිටු කියලා අත්තිවාරම බඳින එකයි. එක උපදේශයක් දෙන්නම්. ගෙයක වැඩ පටන් ගන්න කලියෙන් බඩු නම් ලෑස්ති කර ගන්න වෙනවා. දන්නවනේ බාස් මාමාලගේ වැඩ. එයාලා කවමදාවත් කලින් කියන්නේ නෑ.

මේක ඕනෑ වෙනවා.
අරක ඕනෑ වෙනව කියලා. වැඩේ කරන්න ගිහින් වැඩේ හිරවෙනකොට කියනවා 
මේ අරක තිබ්බ නම් තමා හරි.
මේක නැතුවම බෑ.....

දාහක් දේවල්. ඔන්න ප්ලෑන් එකේ තිබ්බ විදියට මම් බඩු එකතු කරන්න ගත්තා. ආ තව එකක්. එක පාරම ගිහින් හාර්ඩ්වෙයාර්වලින් බඩු නම් ගන්න එපා. ඉස්සරලාම යන්න ප්ලයිට් ටුවර් එකක්. ගිහිල්ලා ඉල්ලන්න කොටේෂන්. තව එකක්. ඔය හාඩ්වෙයාර් බුවාලා ලේසි අයනම් නෙමෙයි. එයාලා මුලදී බිස්නස් එක අල්ලාගන්න අඩුවෙන් ගනන් කියනවා. ඒ කියන්නේ අපිට ගෙයක් හදනකොට ඉස්සරලාම ඕනෑ වෙන්නේ සිමෙන්ති, කලු ගල් හා වැලිනේ. ඉතින් මෙයාලා මේවා ටිකක් අඩුවෙන් දෙන්න බලනවා. පස්සේ හිමීට කම්බි, ඇණ, තීන්ත, පොටි වගේ දේවලින් ගේම දෙනවා. පරිස්සමින් ඔන්න. මම නොකිව්වයි කියන්නෙපා හරියැ...


මමත් සුපුරුදු විදියට ගිහිල්ලා හාර්ඩ්වෙයාර් කිහිපයකින්ම කෝටේෂන් ඉල්ලුවා. ගෙදර ඇවිල්ලා ඔක්කොම පිළිවෙලකට තියලා සංසන්දනය කරලා බැලුවා. සමහර කඩවල වැලි රුපිල 100ක් වැඩියි. තව ඒවාගේ සිමෙන්ති රුපියල් 5ක් වැඩියි. ඉතින් මමයි රැජිණයි එකතුවෙලා සාකච්ඡා කරලා කරලා කරලා... ආයෙත් කරලා එක කඩයක් තෝරා ගත්තා. ඔයාලට කියන්න තව කාරණයක්. 

මේක පස්සේ වෙලාවක පත්තු  වුනේ. මම අර කිව්ව එක කඩයක වැලි ගනන් ඇහුවාම කිව්වේ මම බඩු ගන්න තීරණය කරපු කඩේ ගානට වැඩියෙන් රුපියල් 50ක් අඩුවෙන්. ඒත ගන්න ගියාම පැටවුම් කුළිය කියලා රුපියල් 100ක් එකතු කරාපි. දැක්ක නේද මුන්ගේ තියෙන කපටිකම. ඒක හින්දා ඔන්න ආයෙත් පරිස්සමින්. මිළ ගණන් අහනකොට අහන්න ඕනෑ ගෙනල්ලා බාන්නම ගාණ කීයද කියලා. නැත්නම් ඉතින් හිමීට අපිට තට්ටු වෙනවා. මම මේ කතාව දැන්ගෙන හිටියේ නෑ. ඒත් මගේ වාසනාවට අර කඩේ මිළ කියලා තිබ්බේ ගෙනල්ලා බාන්නත් එක්කමයි. 

මේ ගැන කියනකොට තව එකක් කියන්න ඕනෑ. ඔය කඩවල තියෙන ලොරි ගැන. මුදලාලි කියන්නේ කියුබ් 1 1/2 ලොරිය කියලා. නැත්නම් කියුබ් 4 ලොරිය. බලපුවාම ඇත්තටම තියෙන්නේ කියුබ් 1 1/4යි. නැත්නම් කියුබ් 3 1/2යි. ඉතින් ඒකත් හිතට ගන්න. මේ වගේ එක එක ගැට තියෙනවා. (මට ඉගෙන ගන්න පුලුවන් වෙච්ච,ගොඩ දාගත්ත වගේම අහු වෙච්ච ඒවාත් ඔයාලත් එක්ක මෙහෙම කියන්නම්කෝ මේ කියන ගමන්.)


අර කලින් කිව්ව පයිලට් ගමනින් පස්සේ ඉතින් මමත් බඩු ටික ටික ලෑස්ති කර ගත්තා. ඔන්න ඉස්සරලාම කළු ගල්. මේවට කියන්නේ හයේ හතරේ කියලා. අත්තිවාරමේ පතුලට මේවා තමා දාන්නේ. ඊළඟට වැලි. වැලි කිව්වා ජාති දෙකයි. ගඟේ වැලියි මූදු වැලියි. මම නම් තෝරා ගත්තේ ගඟේ වැලි. ගාන නම් වැඩියි ටිකක්. මට ෂුවර් එකක් තිබ්බේ නෑ ඔය මූදු වැලි ගැන. ඉතින් හිතේ කොස්සක් තියාගන්න ඕනෑ නැති හින්දා මම එහෙම කරා.

ඒක හරිම වැදගත්. ගෙවල් හදනකොට  ඔය පොඩි පොඩි සැක සංකා නම් තියා ගන්න එපා. අන්තිමට ඕවා කැරකිලා එනවා. හදා ගන්නත් බෑ.... විඳව විඳවා ඉන්න තමා වෙන්නේ.

ඊළඟට  සිමෙන්ති. මෙතනදි නම් බාස්ගෙන් අහන්න වෙනවා මොන ජාතියද ඕනෑ කියලා. නැත්නම් ගෙනාවම කියනවාඅර ජාතිය තමා හරියන්නේ. වැඩේ හරියට යන්නේ නෑ. යාදෙන්නේ නෑ. වේලෙන්න වෙලා යනවා. පාට හරිනෑ... දාහක් දෙවල් කිය කිය වැඩේට බනිනවා. ඒක හින්දා බාස්ට බෝලේ පාස් කරන්න අමතක කරන්න එපා. ඒත් බලාගෙන පරිස්සමින්. දන්නවනේ .. එයලා බාස්ලා.... මොකද කොන්ක්‍රීට් වැඩ වලට ටොකියෝ සිමෙන්ති, අනිත් වැඩට සංස්ථා කියලා තමයි ප්‍රසිද්ධිය. දැන් මෙටල්. ඒවට කියන්නේ 3/4 කියලා. ඔන්න ඔය විදියට අත්තිවාරම කපලා ඉවර වෙනකොට බඩු ටිකත් හිමීට ලෑස්ති කර ගත්තා. දැන් හරි.

එහෙනම් බලමු ඊළඟට කරන්නේ කියලා...

October 14, 2010

කිරි ඉතිරවීම හා පත්තිනි කතාන්දරය

මෙය ජනප්‍රවාදයේ එන කතාවකි.

පත්තිනි දේවිය හා පාළඟ කුමරු යන දෙදෙනා එකල බොහෝ ආදරයෙන් ජීවත් වූ දෙදෙනෙකි. එකල රජකම් කල පඬි රජ විසින් සළඹක් සොරා ගත්තායැයි කියමින් පාළඟ කුමරු මරා දමනු ලැබීය. මේ වියෝවෙන් වියරු වැටුනු පත්තිනි දේවිය ගෝපුර පිහිටි රජ මාලිගාව ඉදිරියේ සිට රජුන්ට පළි ගසන්නට විය. මෙයින් උදහස් වුනු රජ "තීට තොගේ තන කවමි" යැයි කියමින් තර්ජනය කරන්නට විය. සිහි විකල්ව සිටි පත්තිනි දේවිය තම වම් තනය කඩා රජුටත් රටටත් ශාප කරන්නට විය. මේ ශාපය හමුවේ මුළු මාලිගාවම ගිනි ගෙන දැවෙන්නට විය. රටටද ගින්න පැතිරුනයෙන් එරට වැසියෝ එක්ව දෙනුන්ගෙන් කිරි දොවා හිරු දෙවියන්ගේ නාමට කිරි ඉතිරිවීය. හිරි දෙවියන් ඉතා බලවත් වූයෙන් එම ගින්නෙන් මදුරා පුරය බේරාගත් බව ජනප්‍රවාදයේ කියැවේ. මෙලෙස හිරු දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම ආරම්භ වූවායයි ජනප්‍රවාදයේ සඳහන් වේ.


කෙසේ නමුත් මහා ව්‍යසනකින් ආරක්ෂාවීමට මේ කිරි ඉතිරවීම කරන්නට ඇත. අදටත් මිනිස්සු දෙවියන් වෙනුවෙන් කිරි ඉතිරවීම යම් යම් ව්‍යසන හමුවේදී කිදු කරන බව ප්‍රකට කරුණකි.

පිංතූරය


ඇයිද කියා

සිනිඳු මල් පෙත්තක
සුන්දර බවට
අයිතිය
කියාපාන්න
බැරි බව දැන දැනත්
ඒ සුන්දරත්වයම
රස විඳින්න තරම්
මගේ හිත
පොපියන
හැටි දැක්කම
හිතුනා
යළි යළිත්
ඇයිද වසඟ
මගේ සිත්මල
නුඹේ පහසට

October 13, 2010

ඔවුන්ගෙන් පළමුවැන්නා නැවතත් හිරු දකී

ඔවුන්ගෙන් පළමුවැන්නා නැවතත් හිරු දකී.

October 8, 2010

ඔක්කොටම කලින් ඒක වහන්න ඕනෑ

මේක නම් පුංචි පහේ ෆන් කතාවක්. සිද්ධිය උනේ මීට අවුරුදු කිහිපයකට කලින්, අපි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. මන් හිතන්නේ අපි හිටියේ 3 වසරේ. දවසක් අපි සෙට් උනා රෑ පානක අක්බාර් පාලම උඩ පොඩි අඩියකට. ඔන්න ටිකක් වැදීගෙන එනකොට කශ්ටියට මතක් වෙනවා අතීත කතන්දර. එකෙක් මෙන්න මෙහෙම කියපි.

දවසක් අපේ බෝඩිමේ අන්කලයා කුණු වෙන්න ගහලා ආවා. ඇවිල්ලා මේකා ඔක්කොම කැම්පස් එවුන්ට බනින්ඩ ගත්තනේ. සුද්ද සිංහල එහෙන් යනවා මෙහෙන් යනවා. බලනකොට අද පිකට් එකක් හින්දා පාර බ්ලොක් වෙලා. මිනිහට බස් එක පරක්කු වෙලා මොනවද බඩු වගයක් ගන්න තිබිලා. කඩේ වහලා හින්දා මිනිහට නහුතෙට නැගලා...

ඉතින් හරිනේ බන්.. මිනිහට මල පනින එක නේද බං... තව එකෙක් කියාපි.

නෑ නෑ.. බන්... මේකනේ සීන් එක...
මේක බනින්නේ අපේ කැම්පස් එකට නෙමෙයි...

එහෙනම්...

මේකා කියනවා මෙහෙම.
මේ ඔක්කොම මගුල් අර අනතර් විශ්ව විද්‍යාලේ හින්දා. ඉස්සරලාම ඒක වහන්න ඕනෑ. උන් ඔක්කොම ගෙදර යවන්න ඕනෑ...
හී හී...
බු හාහා..
හික්ස්.. හික්ස්...

අපි ඔක්කොටම හෙන හිනා....
අන්තරේ කියනනේ කැම්පස් එකක් කියලා මිනිහා හිතාගෙන ඉන්න ඇති.
මොකද ඔය ඔක්කොම පිකටින් වලට මූලිකත්වය අරගෙන වැඩ කරන්නේ ඒක නේ.
අනික රූපවාහිනියෙත් කතා කරන්නේ අන්තරේ සභාපති, ලේකම්.... වගේ අයනේ...

එදා ඉඳලා අපි මොනවා හරි පිස්සුවක් කරන්න ගන්න කොට අන්තරේ ගැන කියලා හිනා වෙනවා....



(කොහොම උනත් එදා සෙට්විල්ල නම් මැක්සා... )





හිනාවෙන කැල්ල දාල තියෙන්නේ හොයාගෙන හිනා වෙන්න හොඳේ...




October 5, 2010

අපේ ගෙදර - 2


පෙබරවාරි 9වැනිදා පටන් ගත්ත හරි ළිඳේ වැඩේ දවස් 3කින් විතර ඉවර කර ගත්තා. ඒ එක්කම වාගේ තව නැකතක් තිබ්බා පෙවරවාරි 12වැනිදාට. කට්ටිය නම් කියන්නේ පෙවරවාරි අඩු මාසේ කියලා. දන්නවනේ කෝණ මාස ගැන. එක අවුරුද්දකට කෝණ මාස 4ක් තියෙනවා. ඒ ඒ මාසවලදී ගෙවල් හැදීමෙන් එක එක නරක ප්‍රතිඵල ලැබෙනවා කියලා වාස්තුවේ තියෙනවා. එතකොට ඉතුරු වෙන්නේ තව මාස 8යි. දෙසැම්බර් කියන්නේ අවසාන මාසය කියලා ඒකත් අතාරිනවා. පෙබරවාරි අඩු මාසේ කියලා ඒකත් අතාරිනවා. දැන් තව 6යි තියෙන්නේ. මාර්තු කියන්නේ සිංහල(ඇත්තටම නම් බෞද්ධ මාස ක්‍රමයට ) මාස ක්‍රමයට  අවසාන මාසයයි. එතකොට ඒකත් අහකට. මේ සමහර මාස අර කෝණ මාසවලටත් අහුවෙනවා. ඒ කොහොම උනත් අවුරුද්දෙන් 1/2ට වැඩිය අතාරීන්න වෙනවා මෙහෙම උනාම. ඔය මාස අතඇරලා වැඩ පටන් ගන්න හදනකොට ඔන්න තියාගෙන හිටෛය සොච්චම වෙන මොකකට හර් වියදම වෙලා. ඉතින් ආයෙත් හම්බ කරන්න වෙනවා. ඔන්න ඔහොම යනකොට මේක කෙරන්නෙම නෑ....

මම 100%ක්ම ඕවා පිළිපදින්නේ නැති හින්දා සුභ වෙලාවක් බලලා වැඩේ පටන් ගන්නයි හිටියේ. අපේ කපු මහත්තයාට අනුව පෙබරවාරි මාසේ 12 වැනිදා එල නැකතක් තිබ්බා. මම කිව්වා මගේ කේන්දරේට හරියන විදියට කස්ටමයිස් නැත්නම් හදලා දෙන්න කියලා. ඔන්න ලොකු ලොකු ගණන් වගයක් හදලා රැජිණගේ කේන්දරේත් අරගෙන වෙලාවල් බලලා සිල්ප දාලා නැකතක් හදලා දුන්නා. ඔන්න ඉතින් අපේ ගෙදර කස්ටියයි රැජිණගේ ගෙදර අයයි සෙට් උනා වැඩේට.

දැන් ඉතින් තියෙන්නේ අඩුම කුඩුම හොයා ගන්න එක. අපි හිටිය කුලී ගෙදර තිබුණා පැල පොල් ගහක් අඩි 15ක් විතර උස. ඉතින් හවස් ජාමේ කලිසම් කොටයකුත් දාගෙන නැග්ගා. අම්මේ තියෙන අමාරුව. ඉස්සර නම් මේවා කිරි කනවා වගෙයි. සුටුස් ගාලා ගහ මුදුනේ. දැන් බඩ වදිනවානේ,, හික්ස්.... අනේ ඉතින් ඔය කොහොමහරි ගහට බඩගාලා බැලින්නම් යාන්තම් එළියට පැනපු ගොබයක් තිබ්බා. මගේ වෙලාව තමා. නැත්නම් ඉතින් තවත් රෑ වෙනකන් ඉන්න වෙනවනේ... ඒකත් කපාගෙන හිමීට බැස්සා. ඊට පස්සේ කඩේ ගිහින් කට්ටකුමන්ජල්, හඳුන් කූරු, සුවඳ කුඩු, බුලත්,.... යනාදී ලැයිස්තුවක්ම සෙට් කර ගත්තා. මට අලුතෙන්ම ගිණි කබලකුත් ගන්න උනානේ. 

ඔන්න ඔය විදි‍යට ඔක්කොම බඩු සෙට් කරගෙන 12 වැනිදා දෙයියනේ කියලා වැඩේ පටන් ගත්තා. පළවෙනි පස් පිඩ කපන්න එක නැකතක් තිබ්බා. පස්සේ මුල් ගල තියන්න වෙනම නැකතක්. ඒ නැකත තමා ලොකු එක. මුල් ගල තියන්න ඕනෑ පයට පෑගෙන්නේ නැති තැනකත වෙන්න. ඒ කියන්නේ ලොකු බිත්තියක් ගාවින් වගේ. දොරක් එන තැනක තියන්නේ නෑ. ආ කියන්න අමතක උනානේ, ඊට කලින් නූල් අදිනවා. ප්ලෑන් එකේ විදියට ඒක බලාගෙන නූල් අදිනවා. කූඤ්ඤ ගහනවා. පලවෙනි කූඤ්ඤය ගහන්න ඕනෑ ගෘහ මූලිකයා. ඉතින් ඔන්න නූල් ඇදලා කූඤ්ඤ ගහලා පස්සේ නූල් වෙනුවට ලණු අදිනවා.කපු මහත්තයා ඔය වැඩ යන අතරේ මොනවදෝ මන්ත්‍ර වගයක් කියවනවා. අපේ මල්ලී දුම්මල, සුවඳ කුඩු අල්ලනවා. තව කෙනෙක් වත්ත වටේටම පිරිත් නූල් අදිනවා. තවත් සමහරු නම් ෂේප් එකේ බඩ කට පුරවා ගන්නවා. මගේ නම් හිත පිරිලා තිබ්බේ. ඒත් එක්කම හිතේ ලොකු බරක් තියෙනවා වගේ දැනුනා. හරියට අපි බැඳපු දවසේ වගේ. ලොකු වැඩක් නේද මම මේ කරන්න ගත්තේ කියලා. දෙකම ලොකු වැඩනේ...

ඔන්න ඔය විදියට වැඩේ පටන් අරගෙන කට්ටිය සමගියෙන් විසිර ගියා. අත්තිවාරම් කැපිල්ල පටන් ගත්තා. දවස් කිහිපයක් වැඩේ කරන්න තියෙන හින්දා අපේ ලොකු බාස් උන්නැහැ හිමීට මාරු උනා. දන්නවනේ මේසන් බාස්ලගේ වැඩ. මෙයා නම් අපේ නෑදෑ කෙනෙක්. ඒක හින්දා බනින්නත් බෑ. හික්ස්.... ඔහොම ඔහොම යනකොට ඔන්න අත්තිවාරම කපලා අහවරක් උනා හරියටම පෙබරවාරි 14 වැනිදා වෙනකොට. ආ එදා අපේ තාත්තගේ උපන් දිනේනේ. ඒත් තාත්තා හිටියේ අඹන්පොල. ඒක හින්දා සාජ්ජේ කෝල් එකකට සීමා උනා. මට හරිසතුටුයි. මටත් වැඩියෙන් සතුටුවුන කෙනෙකුත් හිටියා. 
දන්නවනේ කවුද කියලා...


October 3, 2010

අපේ ගෙදර

ඔන්න එකෝමත් එක කාලෙක ඒ කියන්නේ 2009 ජනවාරි මම පොඩි වැඩකට සෙට් උනා. දැනට අවුරුදු 1 1/2කට වැඩියි. මම අලුතෙන් ගත්ත ඉඩමේ වැඩ පටන් ගත්තා. ඉඩම් නිකන් තියන්නද නේද? ඒ හින්දා මම හිතුවා පැල් කොටයක් අටවන්න ඕනෑ කියලා. මෙහෙම හිතලා ඔන්න ගියා ගෙවල් වල පිංතූර අඳින ගෑණු ළමයෙක් ගාවට. ඉතින් මම විස්තරේ කිව්වා. මෙන්න මෙහෙමයි ඉඩම් කෑල්ල. ඉස්සරහින් මෙහෙම කන්ද. පස්සෙන් මෙහෙම වෙල. වම් පැත්තෙන් අරක. දකුණු පත්තේ මේක.  මේ විදියට අර ළමයට කිව්වා ඉඩමේ විස්තරේ. මෙහෙම කියලා ඉඩමේ ප්ලෑනේ කොපියකුත් දුන්නා. දැන් එයාගේ වාරේ. ඔන්න පටන් ගත්තා අතුරු ප්‍රශ්න වාරය.



දැන් ඔයාගේ මාස්ටර් බෙඩ් රූම් එකේ සයිස් එක කීයද, කාර් පාර්ක් එක කොතනද, සර්වන්ට් බාත් රූම් එක කොහෙද... කියලා අහන්න ගත්තේ නැතැයි...

අම්මෝ.. අහපු පුරශ්න ගාණ.. ම‍යැ අම්මේ... මට ගෙවල් හැදිල්ල එතනම එපා වුනා.. මොනා කරන්නද... මං දන්න විදියට උත්තර බැන්දා. අනික හෙන කඩු වචන, ඒවා එයාගේ භාෂාවේ තියෙන එව්වා හින්දා මට ආයේ ආයේ අහන්න උනා ඒ මොකද්ද ඒ.. ඒක කොහාට හයි කරන එකක්ද (බලනකොට ඒවා හයි කරන ඒවා නෙමෙයි. හික්ස් ) මේ වගේ අල කලංචියක් තමා එදා සිද්ධ උනේ. ඔන්න දන්න විදියට සිල්ප දාලා මම එතනින් මාරු උනා. ඉතින් ඔන්න සතියකින් විතර පස්සේ ආයෙත් ගියා ඒ ගෑණු ළමයව බලන්න. මේ පාර මන් තනියම ගියේ නෑ.. රැජිණවත් එක්කගෙනම ගියා.. (එයා දස්සයනේ...)

ඉතින් ගිහිල්ල බැලුවා මොකද්ද කරලා තියෙන්නේ කියලා. එයා විස්තරේ කියනවා. මෙතනින් හුළඟ ඇවිල්ලා මෙතනින් මෙහෙම යනවා. ඉර එළිය මෙතනින් එන්නේ.... ඔන්න ඉතින් රැජිණගේ වාරේ... මේක බැරිද මෙහෙම කරන්න. මෙතන නිකන් මල් පෝච්චි පෙලක් තියන්න. මෙතන ලොකු පින්තූරයක් එල්ලන්න පුලුවන් වෙන්න බිත්තිය එහාට කරන්න...

අම්මෝ.. අම්මෝ... මට ආයෙත් ගෙවල් හැදිල්ල එපාවුනා...

දෙන්නගේ කතාව නැගලම යනවා.. මට හරි ජොලි. ඉතින් ඔහොම දවස් ගානක් ගිහින් ගිහින් අන්තිමට එයා මොකද්ද එකක් ඇඳලා දුන්නා. මට ඕනෑ විදියට තිබුනේ ලොකු සාලෙයි (ෆුල් ආතල් එකේ මැච් එකක් බලන්න.. ෆිල්ම් එකක් බලන්න...) රූෆ් ටොප් (සෙට් වෙන්න මිසක් වෙන මොකටද..) එකයි විතරයි. අනිත්වා මොනවගේද කියලවත් හිතුවේ නෑ... ඒවා රැජිණට ඕනෑ විදියට කර ගන්න ඉඩ දුන්නා, නැත්නම් ඉතින් දන්නවනේ ගේ හදලා ඉවර උනාම ඉන්න වෙන්නේ නෑ... (එයාට කියන්න එපා හරිද... එහෙම උනොත් මන් කාලා හමාරයි...)

ඉතින් ඔය කොහොම කොහොම හරි ප්ලෑන් එකේ වැඩේ අහවර කර ගත්තා. දැන් තියෙන්නේ හිටු කියලා හදන එකයි. ඒත් එහෙම කොහොමද. දැන් වාස්තු වාරය. ඔන්න වාස්තු විද්‍යාවට අනුව ජනෙල් දොරවල් වෙනස් වෙන්න ගත්තා. බිත්ති වෙනස් වෙන්න ගත්තා. තවත් කිහිප සැරයක්ම ඔය විදියට ප්ලෑන් එක වෙනස් උනා. අන්තිමට 70-80%ක් විතර වාස්තු හරි යන විදියටයි නෝනට ඕනෑ විදියටයි මටත් පොඩ්ඩක් ඕනෑ විදියටයි ප්ලෑන් එක අහවරයක් කර ගත්තා.

ඔන්න හාපුරා කියලා වෙලාවක් කාරිය බලලා ලිඳක් කපන්න ගත්තා. ඉස්ස්‍ර සිරිතට වාගේ ඉඩමක ඉස්සරලාම ලිඳක් කපන්න ඕනෑනේ. දැන් කාලේ මෙහෙම ලිං කැපුවොත් නියෙමෙට තියෙයි. ඒත් මගේ ඉඩමේ අවුලක් උනේ නෑ. ඔන්න 2009 පෙබරවාරි 9 වැනිදා උදේ වැඩේ පටන් ගත්තා. සුමිත් කියන හාදයා තමා ලිං මාස්ටර්. ඔන්න එතනත් මට ගැටළු ආයෙත්. ලිඳේ සයිස් එක එහෙම නැත්නම් විශ්කමභය කීයද යන වග. මට හිතුන ගාණක් ඒ වෙලාවේ කියලා දැම්මා. මෙන්න මේ වෙලාවේ ගෙයි ගිණි කතුරට අහු නොවෙන්න ලිඳ කපාගන්න මම සැලකිලිමත් උනා. නැත්නම් ඉතින් දන්නවනේ අපේ අයගේ වැඩ කිඩ... දවස් තුන්කින් මිනිහා ලිඳ බඹ 2 1/2ක් කැපුවා. කට්ට පොළව. ඒත් අනේ සටස් ගාලා වතුර ආවා. ඉතින් මේ වතුර ඉස්සරලාම ගමේ පන්සලේ බෝධියට දාන්න කියලා අපේ මාස්ටර් උන්නැහැ කිව්වා, අපිත් අලුත් මැටි කලේකට අලුත් වතර අරගෙන ගිහින් බෝධිය නාවලා ඒ වතාවත් කරලා ආවා.

ඔය පින්තූරේ ඉන්නේ සුමිත් හා ලාල් (ගෝලයා). ඉතින් මෙන්න මේ විදියට තමයි මගේ ගෙදර වැඩ පටන් ගත්තේ...