January 31, 2010

අපේ බබා - 5 වන මාසය

ජනවාරි 20 වැනිදා වන විට අපේ බබාට වයස මාස 5ක් වෙලා. කාලය ගත වෙන වේගය කෙතරම්ද කියලා මට සක්සුදක් ලෙස පැහැදිලි වුනා. දෙසැම්බර් මාසේ ඉවර වෙන්නේ මේ අවුරුද්දම ඉවර කරගෙනනේ. ඒ විතරක්නම් බැරියැ.. අපේ සාක්කුවටත් පොඩි (පොඩි කිව්වට පොඩිම නෑ) සද්දයකුත් දාගෙනනේ. ඉතින් දන්නවනේ නත්තලටත් පොඩි සාජ්ජයක් දානවනේ. ඒ උනාට ඒ මොනවත් අපේ බබා ලිපියට අදාල නැති හින්දා අපි අමතක කරලා දාමුකෝ නේද?

ඔන්න ඉතින් මේ මාසේ අපිට ටිකක් වැදගත් එකක්. මොකද දන්නවද? මාස පහේ විනිවිද බැලීම (පරිලෝකනය - ස්කෑන් එක) තිබුනනේ. ඔයාලා දන්නවද මේ ස්කෑන් එකේ වැදගත්කම?
ම්... ම්... දන්නේ නෑ නේද?
මම දන්නේත් නෑනේ...

අපේ අළුත් ගෙදර වැඩ හින්දා මට බිරිඳ බලන්න යන්න වෙන්නේ සති අන්තයේ විතරයි. අනික රස්සාව කරන්නත් ඕනෑනේ. ඉතින් ඔන්න ඔහොම මම තනියම කොලොම්තොටේ ඉන්නකොට බිරීඳ එයාගේ අම්මත් එක්ක ගියා අපේ දොස්තර මහත්තයා හමබ වෙන්න. මමත් හරිම ආසාවෙන් හිටියේ මේ ගමන යන්න. අනික බිරිඳත් හරිම ආසයි මගේ අතේ එල්ලිලා එහෙ මෙහ ඇවිදින්න. ඉතින් අපි සැලසුම් කරගෙන හිටියත් ඒකට මේ ගෙවල් හැදිල්ල ඇණයක් උනානේ.

උදේ බිරිඳ ගෙදරින් පිට වෙන්න කලින් මට දුරකතන ඇමතුමක් දුන්නාය.

මේ.... මම දැන් යන්න හදන්නේ... ඔයා වැඩියම කැමති කාටද?

මම ඕන කෙනෙකුට කැමතියි ළමයෝ... ඔයාට කාවද ඕනෑ...

ම්..ම්..ම්.. කෙල්ලේක් උනොත් මට ලේසියි, කොල්ලෙකුත් හොඳයි ඉතින්... අනේ මන්දා... ඉතින් කියන්නකෝ ඔයා කැමති කාටද? ඉක්මනට අනේ... කියන්න...කෝ.... පරක්කු වෙනවා

කියමින් ගැහැනු ගැට දමන්නට විය. ඇගේ මෙම කෝල කමට මා කවදත් ආදරේය. බොරුවට පරක්කු වෙනවා, අරහේ යන්න තියෙනවා, පස්සේ කියන්නම් ආදී නොයෙකුත් ප්‍රයෝගයන් මා ඇගේ හද කුටි සිර කර අගුලු දා යතුර මහ මුහුදට විසි කිරීමට තරම්ය....

ම්...ම්....ම්... කවුරු උනත් කමක් නෑ අනේ.. ඔය මගේ පැටියෙක්නේ... ඔයා ගිහින්ම කියන්නකෝ...

කියමින් මම පැන යන්නට උත්සාහ කලෙමි. මෙවන් අවස්ථාවකදී ඇගේ මුහුණ බොරු තරහකින් පිරී යන්නේය. ගස්සාගෙන මගේ ලඟින් ඉවතට යන්නේ "මං තරහයි.. ආයේ කතා කරන්න එපා... " යැයි නොකියා කියාය. මා ළඟ නැතත් මට ඇගේ මුහුණ සිහියට එන්නට විය.

මං යනවා.. මට පරක්කු වෙනවා... බුදු සරණයි කියමින් ඇය දුරකතනය විසන්ධි කලාය.

කෙසේ හෝ තව හෝරා කිහිපයකින් මගේ සිතේ ඇඳි සිතුවම සැබෑ වන්නේය. මම ඇගේ දුරකතන ඇමතුම එනතුරා ඇඟිලි ගනිමින් සිටියෙමි. මෙන්න දවල් 12ට විතර එක පාරම මා බලාපොරොත්තුව සිටි ඇමතුම ආවේය.

අනේ... ඔයා කැමති කෙනා නෙමයි නේ.. මම කැමති කෙනා ඉන්නේ.. හූ හූ...
කියමින් ඇය මට ඔච්චම් කරන්නට විය.
ඉතින් ඔයා කොහොමද දන්නේ මම කැමති කාටද කියලා...
මම ඔයා ගැන දන්නේ නැද්ද අනේ... දැන් අවුරුදු 6 ක් ගිහිල්ලත් ඉවරනේ.. හී.. හී...
අනේ ඉතින් කියන්නකෝ මොකද ඩොකා කිව්වේ...?
කියන්න බෑ... මොනවද දෙන්නේ මට...
ම්ම්ම්... හාදු දෙන්නම් ...
හරි එහෙනම් 100ක් 1000ක් ඕනෑ... හරිද ඔන්න බෑ කියන්න බෑ... (මේ හාදු 100ක් 1000ක් කතාවට අතීතයක් ඇත.)
හරි හරී....
ම්ම්ම්....

කියා යමක් ඇය පැවසුවාය. මට ඉහේ මලක් පිපුනා වගේය. මට කියන්නත් පොඩ්ඩක් ලැජ්ජයි වගේ. මම පොඩි පගේ නැටුමකුත් දැම්මා කාමරේට වෙලා. ඒ තරම්ම සතුටක් දැනෙන්නට විය.

නමුත් මෙම පරිලෝකනයේදී කියැවෙන යම් යම් දේ වෙනස් විය හැකි බැවින් පුතකුද දුවකුද යන්න අන් අයට දැන්ම කිමෙන් වලකින මෙන් බිරිඳගේ අම්මා ඇයට කියා ඇත. එම අවවාද මම අද සයිබර් අවකාශයේදීද රැකිය යුතු නිසා නොකියා සිටින්නෙමි. නමුත් ඉඟි කිහිපයක් දෙන්නෙමි.
: අපේ අම්මා එකදාස් ගනනට සතුටුය. නැන්දම්මාද එසේය. වැඩියෙන්ම සතුටු වන්නට සිටියේ අපේ කිරි අම්මාය.


ආ කියන්න අමතක උනා. ජනවාරි 6 වැනිදා අපේ බබා පළවෙනි වතාවට ඇතුලේ ඉන්නවා කියලා බිරිඳට පා පහරක් දීලා කියලා තිබුනනේ. දවසක් මටත් දැනුනා එයාගේ දැඟිලිල්ල... ආසාවේ බෑ....

January 29, 2010

අද දුරුතු පෝයයි...

අද මගේ බිරිඳගේ නිවසෙන් පන්සලට දානය භාරගෙන තිබුණි. සෑම අවුරුද්දකම පළමු මස පෝය දිනයේ සිල් ගත් අය වෙනුවෙන් දවල් දානය බිරිඳගේ පවුලෙන් වීම දැන් බොහෝ කලක පටන් කරගෙන එන පුරුද්දකි. දවල් දානය අවසන් වී හවස අප සියලු දෙනා බෝධි පුජාව සඳහා පන්සලට ගියේ සුපුරුදු ලෙසිනි. පන්සලේ හාමුදුරුවෝ කියූ බණින් පොදක් ලියන්නට සිතුවෙමි.


සිරිත්-විරිත්:
අද අපේ හාමුදුරුවෝ  මේ ගැන කතා කලා. සිරිත් කියන්නේ අපි හුරු පුරුදු කල යුතු ක්‍රියාවන් බවත් විරිත් යනු අත්හල යුතු ක්‍රියාවන් බවත් පැවසුවා. අවංකව කියනවානම් මම අද තමා විරිත් යන්නේ තේරුම දැන ගත්තේ. ඒක නිසයි මම ඒක ගැන ලියන්න හිතුවේ. ඒත් මේ වචන දෙක නම් එකසිය ගානට මම පාවිච්චි කරලා තියෙනවා. චාරිත්‍ර-වාරිත්‍ර කියන එකේ තේරුමත් එහෙමයි කියලාත් කිව්වා.

පෝය: 
සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරට පත් වන්නේ මෙවන් පෝය දිනයකදීය. බුදු රදුන් මහා සංඝයා එකතු කොට ප්‍රථම ධර්ම සාකච්චාව පවත් වන්නේද මෙවන් පෝය දිනයකදීය. 

සංවාදය:
සිල් ගන්නා අයට දවල් දානය නැවැත්තීම: 
හේතුව: 
සිල් ගන්නා අයගේ දරුවන් පන්සලට නොපැමිණීම

මෙහිදී කියවුනු කරුණක් වුනේ තරුණ පරපුරේ අයගේ දෙමාපියන් පන්සලට එන බවත් සිල් සමාදන් වන බවත් ඔවුන්ගේ දරුවන් පන්සලේ පස්වත් නොපාගන බවත්ය. මෙය සැබෑවකි. සමහර දරුවන්ට තම දෙමාපියන් සිල් ගන්නවා යැයි පැවසීමද ලජ්ජාවට කරුණකි. නමුත් මෙය ආඩම්බර විය යුතු දෙයකි. කෙසේ වෙතත් සිල් ගත් අයට දානට නොදීම මෙයට පිලියමක් නොවන බව මගේ මතයයි. එසේ කර දරුවන් පන්සලට ගෙන ආ යුතුද? එසේ කිරීමෙන් සිල් ගත් අයට වන අපහසුව කෙතරම් විය හැකිද? පින්වත් දරුවෝ දෙමාපියන්ට සලකති. එමනිසා මෙය කල යුතු කරුණක් ලෙස මම නොදකිමි.



ප:ලි:


සමාවන්න:
මෙම අදහස ගෙන ආවේ දායකයින් වන අතර හාමුදුරුවෝ ඊට එකඟ නොවූහ. මට එම අදසහ ලිවීමට අතපසු වීම ගැන සමාව අයදිමි ( විශේෂයෙන් තරිඳුගෙන් සහ පිස්සගෙන් ). 

January 27, 2010

2010 ජනාධිපතිවරණය අවසන්.

දැන්වත් ඔය දේශපාලන ලිපි අඩු වෙයිද දන්නේ නෑ. මට මේ දවස් ටිකේම නිකන් මහ අප්පිරියාවක් තිබුනේ.

රූපවාහිනී සේවා ටිකයි ගුවන් විදුලි සේවා ටිකයි පත්තර ටිකයි...
චිකේ චිකේ...
අන්තිමට සයිබර් අවකාශයත් ආක්‍රමණය කලානේ...
හපොයි....
මඩ ගොන්නක් තිබ්බේ.... බැන ගැනීම එක සිය ගානට....

කොහොම හරි ඒක දැන් ඉවරයි.

මං හිතනවා අපේ යාළුවෝ ආයේත් ලියන්න පටන් ගනීවි නවත්තපු තැන්වල ඉඳලා...
සයිබරයේත් කුණු ටිකක් අඩු වෙලා යාවිනේ...

කොහොමහරි කමක් නෑ එහෙනම්... ඔන්න ආයෙත් ලියන්ඩෝ.....


කාටත් සුභ අනාගතයක්...
:)


January 22, 2010

වාස්තු විද්‍යාව - 2: වඩු රියන, කෝණ මාස

1. වඩු රියන:
මේ මොකද්ද මේ අලුත් රියන් ජාතිය. ඇත්තටම මේ රියන අලුත් නෑ. ගොඩාක් පරණ එකක්. මේ රියනට අඟල් 31 ක් තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමියකුගේ දකුණු අතේ බාහුවේ වැලමිට දක්වා වූ දිගත් වඩු රියනක් විධියට ගනන් ගන්නවාලු.

ඉතින් මොකටද මේ වඩු රියන? වෙන මොකටද, දිග මනින්න මිසක්. හැබැයි මෙහෙම කතාවකුත් තියෙනවා. අපේ ගෙදරක දිග, පළල දෙක වඩු රියන්වලින් ඔත්තේ වෙන්න ඕනෑලූ. දැන් ඉතින් තියෙන්නේ ඉන්න ගෙදර දිග පළල මැනලා බෙදලා ගණන් හදලා බලන්න ඔත්තේද කියලා.... හැබැයි ඔත්තේ නොවුනොත් වෙන්නේ මොකද කියලා විස්තර කරලා නෑ. කියන්නේ ඔත්තේනම් සුභයි කියලා ව්තරයි.

2. කෝණ මාස:
මේ මොකද්ද ඒ පාර අලුත් මාස ජාතිය. අවුරුද්දකට කෝණ මාස 4 ක් තියෙනවා. මේ කෝණ මාස 4 පහළ තියෙන විධියට අවුරුද්දේ යම් යම් කාල වලදී එළඹෙනවා. මෙන්න මේ කියන කාල සීමා වලදී ගෙවල් හදන්න පටන් ගන්න සුදුසු නෑ. මුල් ගල් තියන්න, උළුවහු තියන්න වහල ගහන්න වගේ දේවල්. හැබැයි ඇයි කියලානම් දන්නේ නෑ. මං දකින විදියටනම් මේ කියන සමහර කාලවල තද වැහි තියෙනවා. ඒක එක හේතුවක්. වැඩේ පටන් ගත්තට දිගටම කරන්න බෑ.

මාර්තු 14 සිට අප්‍රේල් 11 දක්වා- මීන කෝණය ( බය )
ජුනි 15 සිට ජූලි 15 දක්වා - මිථුන කෝණය ( මරණ )
සැප්. 16 සිට ඔක්. 15 දක්වා - කන්‍යා කෝණය ( රෝග )
දෙසැ. 16 සිට ජනවාරි 14 දක්වා - ධනු කෝණය ( හානි )

January 20, 2010

වාස්තු විද්‍යාව


මා විසින් නව නිවසක් සෑදීම කටයුත්ත මීට ටික කලකට ඉහතදී ආරම්භ කල බව මීට පෙරද පවසා තිබේ. මෙම ලිපිය ලියැවෙන්නේ එම කටයුත්තේදී මා විසින් උගත් යම් වාස්තු විද්‍යාව රහස් කිහිපයක් පිළිබඳවය.

කොළඹ රටේ ඇත්තෝ වාස්තු විද්‍යාව කෙරෙහි එතරම් සැලකිල්ලක්, උනන්දුවක් නොදක්වති. එසේම විශ්වාසද නොකරති. නමුත් එහි යම් යම් සත්‍යතාවක් ඇතැයි මට හැඟේ. එ නිසා මා එය ඉගෙනීමට උත්සාහ වන්නට විය. මෙහි එන කරුණු බොහොමයක් මා පොත පතින් උගත් දෑය.

වාස්තු යනු සංස්කෘතික වචනයකි. යෝග, ආයුර්වේද හා ජෝතිෂ්‍යය වැනිම වාස්තු ද ඉන්දියාවේ උපත ලද්දක් ලෙස සැලකේ. මෙහිදී වාස්තු විද්‍යාව හා ජෝතිෂ්‍ය විද්‍යාව අතර අනොන්‍ය බැඳීමක් ඇති බව බොහෝ ප්‍රසිද්ධ කරුණකි. ඉතා ඈත අතීතයේදී මෙම විද්‍යාව සම්බන්ධව උපදේශකවරුන් 18 දෙනෙකු සිටි බවට "අග්නි පුරාණ" නම් ග්‍රන්ථයෙහි සඳහන් වේ.





එම 18 දෙනා මෙසේ දැක්විය හැකිය.
  1. භෘගු 
  2. අත්‍රි 
  3. වසිෂ්ට 
  4. විශ්වකර්ම 
  5. මය 
  6. නාරද 
  7. නග්නජිත් 
  8. විශාලාක්ෂ 
  9. පුරන්දර 
  10. බ්‍රහ්ම 
  11. කුමාර 
  12. නන්දිශ 
  13. ශෞනක 
  14. ගර්ග 
  15. වාසුදේව 
  16. අනීරුධ 
  17. ශුක්‍ර 
  18. බ්‍රහස්පති

එලෙසම වාස්තු විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් 3ට බෙදිය හැකිය.
  1. නිවාස සඳහා වාස්තු
  2. බාහිර ස්ථාන සඳහා වාස්තු
  3. පොදු/පූජණීය ස්ථාන සඳහා වාස්තු


මෙම ලිපි පෙල ලියැවෙනුයේ නිවාස සඳහා වාස්තු යන කොටස සම්බන්ධයෙනි.


පිංතූරය

January 17, 2010

මී රැජිණගේ මල් වත්ත - 5


මේ දිනවල බිරිඳ නිවසේ නැති බැවින් මල් පලදාව අඩු බවත්, මම එකසිය ගානට සාත්තු කරනා බැවින් මල් යාන්තමට සෑදෙන බවත්, කරුණාවෙන් දන්වා සිටිමි...

මෙම පිංතූරද මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. 





January 12, 2010

කලේ පැන් ඇත නැවුම් රහ නැත - විචාරය

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටි‍ය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ..

සැලේ ගහකොළ සුළඟ ඇත එද
සිහිළ කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ...

කලේ පැන් ඇත නැවුම් රහ නැත...

පුරුදු නිවහන නුහුරු වීනම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්...///

- සුනිල් එදිරිසිංහ -

හිමිදිරි පාන්දර ඔරලෝසුව මොර දෙන්නට විය. වෙනදා මා කූද්දන්නේ මගේ ආදරණීය බිරින්දෑය. අද මම නිදි යහනේන් අවදි කරන්නට ඇය නොමැත. වැතිරගත් වනම සිටි මා ඔරලෝසුව දෙස කෝපයෙන් බලා
"අනේ අනේ උඹත් අද මට ඔච්චම් කරනවා නේද්" දැයි කියමින් එය පසෙකට විසි කරන්නේය. වෙනදා පාන්දර මා අවධිවන්නේ ඇයෙගේ ආදර වදන් වලින්ය.

"ආ... නැගිටින්න... දැන් හොඳටම එළිය වැටිලා... හම්... හම්... හනේ හනේ... තාම පොරවාගෙන නේද?..."

තවත් පොඩි වෙලාවක් කම්මැලිකමට එහාට මෙහාට පෙරලෙන මා ඇයවද අතින් අල්ලා නිදියහනට ඇදගන්නේ මගේ හිතේ පාන්දරම අවධිවන ආදර හැඟීමටය. එය නොවලක්වන ඇයද මොහොතකට මා සමග නිදියහනට ගොඩවන මොහොතින් බොරු තරහක් මවාගෙන මෙසේ කියන්නීය.

"මෙන්න වැඩක්... අද වැඩට යන්නේ නැද්ද? හපෝ තියෙන කම්මැළිකමක්... මං යනවා කුස්සියට"

මෙසේ කියමින් ඇය කුස්සියට වන්නේ මා වෙනුවෙන්ම සාදන උදෑසන කිරි කෝප්පය පිළියෙල කිරීමටය. මෙවැනි නොයෙකුත් චාටුබස්ද, ආදරබස්ද මා නිදියහනෙන් නැගිට්ටුවීමට තරම් වන්නේය. හනික නැගිටින මා මීළඟට සොයන්නේ ඇගේ ආදරය පිරුණු කිරි කෝප්පයයි. එයට ලොල් බැඳි මා හනිකට නිදියහනෙන් පැන කුස්සියට වැද ඉඟිමරමින් එහි රස බලන්නේ ඉමහත් ආදරයෙනි. මෙවන් පිරුණු ඇරඹුමක් මා හට ලබා දිය හැක්කේ මගේ බිඳෑට පමණමය.

නමුත් අද ඒ කිසිවක් නැත. මා තනිවමය.

හිරු උදාවට දොස් පවරමින් අදිමදි කරමින් මා නිදියහනෙන් නැගිට හිමිහිට කුස්සිය දෙසට ඇදෙන්නේ කිරි කෝප්පයක් පිළියෙල කිරීමට සිතාගෙනය. පළමුව වතුර උගුරක රහ බැලිය යුතුයැයි සිතා කලයෙන් වතුර කෝප්පයක් නවා බීමට කටට ගත්තද එහි රසය නැති වී ගොසින්ය. වෙනදා මේ වතුර කෝප්පය දෙන්නේ මගේ බිරිඳය. අද මොනවා වෙලාද මන්දාය...

වතුරේ නැවුම් රසය අඩු වෙලාය. බීමට තරම් නොවේය.

කුස්සියේ තියෙන දෙයක් උයාගෙන බඩ පුරවාගෙන රැකියාවට යා යුතුව ඇත්තේය. එහෙයින් හාල් හුන්ඩුවක් ගෙන සෝදා ගරා ලිපේ තබන්නේ සම්බෝලයක් සදා ගැනීමට සැරසෙන අතරතුරේය. අනේ අද ලිපට මොනවා වෙලාද මන්දාය. ලිපේ ගින්දර ඇවිල්ලේ නැත්තේය. අමාරුවෙන් අවුලාගත් ලිපේ තියෙන හාල් ටික වෙලාවකින් රොස් වෙන්නේය. බත පිච්චෙන ගඳ අතරින් කෙසේ හෝ ගින්දර අඩු කරමින් මුට්ටිය බිමට බාගෙන පිඟානකට බෙදා ගන්නේ සාදාගත් සම්බෝලයත් සමහ රස බැලීමටය.

අහෝ... වෙනදා මගේ බිරිඳ සාදන සම්බෝලය කොපමණ මිහිරිද? මා කන්නට ගත් බත් පතේ කිසිදු රසක් නැත්තේය. සම්බෝලයේ මිරිස් වැඩිද මන්දාය. නැත්නම් මගේ දිවට මොනවා හරි වෙලාද මන්දාය.

රැකියාවට ගොස් ආපසු ගෙදරට එන වෙනදා නිවසට ගොඩ වූ සැනෙන් පිරිසිදු වතුර වීදුරුවක් මගේ දිව පිනවන්නේය.

"කෝ දෙන්න.... හරිම මහන්සි පාටයි..."

කියමින් අතේ ඇති බඩු සියල්ල ගෙන නොයෙකුත් කෝලකම් කරමින් ගෙතුලට මා ගෙනයන්නීය. නිවසට වන් මා හට නිවස පුරා ඇති පිරුණු බවින් මගේ වෙහෙස දුරු වන්නේය.

ඒත් අද ඇය නැත. වෙනදා මාගේ දෙසවන් පිනවන කෝල වදන් අද නැත්තේය. සිනහ බව නැත්තේය. මගේ සවන් බිහිරි වී ඇති සැටියක්ය. කිසිවක් අසෙන්නේ නැත්තේය. ගහක කොලයක වැදෙනා සිහිල් පවන් රැල් අද නොමැත්තේය.
පුරුදු නිවහනත් මට අද නුපුරුදු වී ඇත්තේය. පාළුව සෑමතැනම ගැවස ගෙනය.

අද මගේ බිරිඳ මා ලඟ නොමැත. ඇය ගමේ ගොසින්ය. ඇය නෑ ගම් ගොසින්ය.

පිංතූරය



January 9, 2010

මී රැජිණට ගේමක් කෝල් කරපු ගල් බමරෙක්

අදනම් කියන්න යන්නේ මී රැජිණට ගේමක් කෝල් කරපු ගල් බමරෙක් ගැනයි.

ගිය සතියේ සෙනසුරාදා මී රැජිණ ගියා බොරැල්ලට පොඩි වැඩකට. ගිහිල්ලා ආපහු එනකොට ආවේ බස් එකේ. ඔයාලා දන්නවනේ රැජිණට දැන් පැටියෙක් හම්බ වෙන්න කියලා. ඉතින් රැජිණ සාමාන්‍යය බස් එකකට නගින්නේ නැතුව ඒ.සී. බස් එකකට නගින්න තමා ඉඳලා තියෙන්නේ. මොකද කියලා ඔයලා දන්නවනේ.

ඇය බොරැල්ලෙන් පිටව 120 බස් පාරටවිත් බණ්ඩාරගම - කොළඹ බසයක් එනතුරු සිටියාය. පළමු බසයේ සෙනඟ බොහෝ සෙයින් ද ඇය ගොද වූවොත් ඉඳගෙන සිටින අයෙක් ආසනය දෙන්නට වන සෙයින්ද ඇය එම බසය මග හැරියාය. දෙවනුවට පැමිණි බසයේ මගීන් සිටගෙන නොසිටි බැවින් ඇය එම බසයට ගොඩ වූවාය. එවිටම කොන්දා සුපුරුදු විදියටම

"ඔය බොරලැස්ගමුව බහින එක්කෙනා සීට් එක දෙන්න..." කියමින් ඇයට අසුනක් ඉල්ලා දීමට ඉදිරිපත් විය. නමුත් මේ බොරැලැස්ගමුව බහින මගියා සිටියේ තරමක් ඈත අසුනක බැවින්

"ඔය ඉස්සර මහත්තයෙක් සීට් එකක් දෙන්න" ආයෙත් කියන්නට විය.

මේ සමගම අසල සිටි එක් නාඹර ඹමරෙක්

"චඃ... මොනාද මංදා... සෙනඟ ඉන්න බස්.... "

කියමින් මොනවදෝ මුමුණමින් තරහෙන් පිපිරි පිපිරි ඇයට අසුන පිළි ගැන්නුවා ( ද නැත්නම් දමලා ගැහුවද මන්දා...)
මෙය ඇසුන රැජිනට මදක් අපහසුවක් විය. ඇය බස් රියේ සහායකයා දෙසට හැරී අසරණව වචනයෙන් නොව හැගීම් වලින් දුක පවසන්නට වූවාය. (මගෙත් කරුමෙක මහත! මන් හිටියානම්.... )

ඇයට බසයෙන් බැසයාමට තරම් වූවාය. මෙම බසය මාතර දක්වා යන්නේ නැත. ඇනුරාධපුර දක්වා යන්නේද නැත. නුවර දක්වා යන්නේද නැත. යන්නේ බණ්ඩාරගම දක්වාය. සාමාන්‍යය දුරකි. නමුත් නියම් පිරිමි වන අපිට හිටගෙන ඔය කී ඕනෑම දුරක් යා හැකියය. කිසිදු විභාගයකින් තොරව බඩදරු අම්මෙකුට ආසනය පිදිය හැකිය.
(දිනක් මා නුවර සිට කුරුණෑගල දක්වා සිටගෙන ගියේ මමත් රැජිණත් එකට සිටි අසුන අම්මා කෙනෙකුට පුද කරමිනි. මෙය පැවසුයේ මා ගැන වර්ණනා කිරීමට නොව අර නාඹරයාගේ සවුත්තු වැඩේ හා සැසඳීම උදෙසාය. )

මීට වඩා මේ පිළිබඳව ලීවොත් ලියන්න වන්නේ තිත්ත කුණුහරුප ටිකක්ය. එම නිසා මම නවතිමි.

අඃ! කියන්න අමතක උනා අර ඹමරා පිළියන්දලින් බසයෙන් පිට වූ අතර කොළඹ සිට පිළියන්දලට තරම් දුරක්වත් ඔහුට සිටගෙන ඉන්න බැරිද?

පිංතූරය

සෙවුම හොඳයි තියෙනවාද යට ඇඳුමක්

පින් ඇති පුතුන් ලොවකට රන් පළිහක්ය
ඒ වැදු මවුන් ඒ හා සම පහණක්ය
පුතුගේ ක්‍රියා ගෙනෙදේ සැම ගුණයක්ය
ඒ පුතුගේ ගුණ වරුණා නො නිමක්ය

බස‍යට ගොඩ වූවොතින් බඩදරු අම්ම කෙනෙක්
"වාඩි වෙන්න" කියා ඔන්න වෙන්වෙන්නේ හොඳ අසුනක්
"මොන මඟුලක්" කියා කියන පිරිමි කෙනෙක්
සෙවුම හොඳයි තියෙනවාද යට ඇඳුමක්


මී රැජිණට ගේමක් කෝල් කරපු ගල් බමරෙක් හා බැඳේ...

January 8, 2010

බෙලි කනකොට බඩ යනවා

මම අද රැකියාව අහවර කොරලා ගෙදර එන ගමන් පොඩි පළතුරු කඩයක් ළඟ නැවැත්තුවා මගේ නෝනට මොනවා හරි ගන්න කියලා හිතාගෙන. දන්නවනේ ඉතින් මගේ නෝනගේ තත්වේ දැන්. හඃ. හඃ...
ඔන්න ඉතින් මම පළතුරු වල ගනන් අහන්න ගත්තා.

ජනවාරි මාසේ මුල දී ඇඹුල් කිලෝව 80ට විතර නැගලනේ තිබ්බේ, දැන්නම් ඒක අඩු වෙලා. බැලුවහම කෙසෙල් එච්චර හොඳ ඒවා තිබුණේ නෑ. මම දැක්කා පෙට්ටියක දාලා තියෙන බෙලි ගෙඩි ටිකක්. ඔන්න මට ආවා ආසාවක් බෙලි කන්න.
අම්මට විතරද දොලදුක, පියාටත් හැදෙන්න පුළුවන්නේ කියලා මම අහුවා ගාන.

"රුපියල් 50ක් දෙන්නකෝ" කියලා කඩේ අක්කා කිව්වා.
යකෝ බෙලිවලට ගිය කලක් කියලා හිතාගෙන මං කිව්වා "හා දෙන්නකො එහෙනම්" කියලා රුපියල් 100ක් දුන්නා.

මෙන්න බොලේ මේ අක්කා ඔක්කොම බෙලි ටික දානවා උරේකට. අප්පට සිරි! මේ බෙලි ඔක්කොටම තමා 50 කියලා තියෙන්නේ. එතන බෙලි ගෙඩි 8ක් විතර තිබ්බා. හැබැයි සමහර ගෙඩිනම් පොඩ්ඩක් පොඩියි....

ඔන්න මං බෙලි අරගෙන ගෙදර ගිගින් නෝනට දුන්නා. ඒක ගත්ත ගමන් එයා පරණ කවියක් කිව්වා මෙහෙම...

බෙලි කනකොට බඩ යනවා
බඩ යනකොට බෙලි කනවා
තව යනකොට තව    කනවා
-----                  නවතිනවා

මේකේ අන්තිම පදේ හරියටම මතක නෑ.
දන්න කෙනෙක් කියා දෙන්නකෝ....

පිංතූරය

January 6, 2010

අපේ බබා - 4 වන මාසය

නොවැම්බර් 20 වැනිදා සිට දෙසැමබර් 20 වැනිදා දක්වා කාලය අපේ බබාගේ 4 වැනි මාසයේ කාල සීමාවයි. පහුගිය මාසයනම් මහත් භයංකාර වූ බව මම පැවසූවෙමි. ඒ භයංකාරත්වය අවසාන වනවාත් සමගම බිරිඳට බොහෝ පහසු කාලයක් එළඹුණේය. එය මට මහත් අස්වැසිල්ලක් විය. දැන් ඇයට වෙනදා තිබූ කෑම අරුවිය වෙනුවට ලොකුම ලොකු කෑම රුචියක් ඇති වී තිබුණි. උදා වමනය නැවතී තිබීමත් කෑම රුචිය නැවත පැමිණ තිබීමත් නිසා ඇය වෙනදාට වඩා ප්‍රීතියෙන් කල් ගෙවන්නට විය. වෙනදාට වඩා මා ඇය අසලින් තබා ගැනීමට වඩාත් ප්‍රිය කළාය. ඒ බව මට ඒත්තු ගියහෙයින් මමද හැකි තරමින් එය ඉටුකිරීමට උත්සුක උනෙමි.



අඃ... කියන්න අමතක උනානේ. මේ වනවිට මගේ බිරිඳ සිටියේ ඇගේ මහ ගෙදර ඇගේ අම්මලා සමගය. මට තනියම පිළියන්දල නිවසේ සිටින්නට සිදු විය. "කලේ පැන් ඇත, නැවුම් රස නැත" යන ගීතයේ නියමාරුත සක්සුදක් ලෙස මට තේරෙන්නට විය. නොවැම්බර් මාසය අවසානයේ මගේ බිරිඳගේ නංගී අපේ නිවසට පැමිණි අතර ඇය ආපසු ගියේ මගේ බිරිඳත් සමගය. එම නිසා මෙම කාලය මා හට එතරම් සුබ කාලයක් නොවීය. වෙනදා උදේට හම්බ වෙන කිරි කෝප්පයේ සිට රාත්‍රී හාද්ද දක්වා බොහෝ දේ මා හට නොලැබෙන්නට වූයෙන් එය මට තදින්ම දැනෙන්නට විය. නමුත් මට ඇයව නිවසේ තනිකර රැකියාවට යාමට වඩා ඇය මහ ගෙදර විසීම සැනසීමක් වූයෙන් මගේ පාළුව තනිකම මා තුලම සිරකර ගන්නට ඉටා ගත්තෙමි.

කෙසේ නමුත් මෙම මාසයේ සෑම සති අන්තයකම මම ඇයට පළතුරු සහ තවත් ඇය ප්‍රිය කරනා තෑගිද රැගෙන ඇය බැලීමට ගියෙමි. මා එනතුරා සෑම සතිඅන්තයකම ඇයට මග බලා සිටියාය. දිනක් ඇය මෙසේ කියන්නට විය.

"කෝ අනේ... තාම මගේ බඩ නෑනේ..."

"තව පොඩ්ඩක් ඉවසන්නකෝ... ඉක්මනටම එයා ලොකු වෙයි" කියලා මම කීවෙමි.

මෙන්න මේ විදියට හතරවෙනි මාසේ ගෙවිලා ගියා. දෙසැම්බර් මාසෙත් ආවා ඒ එක්කම, ඔන්න අවුරුද්දත් ඉවර වෙන්න යනවා...

අහඃ ආයෙත් කියන්න බැරි උනා...
ඔන්න මේ මාසේ ඉවර වෙනකොට නම් බිරිඳගේ බන්ඩි ගෙඩිය ටිකක් ලොකු වෙලා තිබුණා...
එයාටත් සතුටුයි,
මටත් සතුටුයි,
අපේ බන්ඩියටත් සතුටුයි.

පිංතූරය

දුරුත්තේ සීතල

දුරුත්තේ සීතල
ආයෙමත් ඇවිල්ලා
හිමිදිරි පාන්දරට
නිදියහනේ ගුලිවෙන්න
ආයෙමත් පුංචිම පුංචි වෙලාවක්
සීතලේට ගුලි වෙන්න
මට හිතෙනවා සැමදා උදේ...

පිංතූරය

January 5, 2010

අමාරුවෙන් සුභ පැතීමක්

මට එක මල්ලි කෙනෙක් අලුත් අවුරුද්දට සුබ පතලා විද්ය්‍යුත් ලියමනක් එවලා තිබුනා.
මෙන්න මේකෙ තියෙන්න නම් ඒකෙ තිබ්බ දේ තමා.

1. පහළ තියෙන ඉලක්කම් ටික "නෝට් පෑඩ්" (Note pad) හි පිටපත් කරන්න.
2. දැන් කන්ට්‍රොල් එච් (ctrl+H) ගහන්න.
3. දැන් 6 වෙනුවට _ එක ප්‍රථිස්තාපනය(replace) කරන්න

අහඃ....
මොකද්ද උනේ....



666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666
666996666699669966999999996699666669966666669966666699669999999966996666996666666666666696666666666666666666666
666996666699669966999999996699666669966666666996666996669999999966996666996666666666666999666666666666666666666
666996666699669966996666666699666669966666666699669966669966669966996666996666666666669969966666666666666666666
666996696699669966999999996699999999966666666669999666669966669966996666996666666666699666996666666666666666666
666996999699669966999999996699999999966666666666996666669966669966996666996666666666999999999666666666666666666
666999969999669966666666996699666669966666666666996666669966669966996666996666666669999999999966666666666666666
666999666999669966999999996699666669966666666666996666669999999966996666996666666699666666666996666666666666666
666996666699669966999999996699666669966666666666996666669999999966999999996666666996666666666699666666666666666
666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666
666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666
666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666
669966666996666666669666666666999999996699999999669966666699666666669966666996699999999669966666996666666666666
669966666996666666699966666666999999996699999999666996666996666666669996666996699999999669966666996666666666666
669966666996666666996996666666996666996699666699666699669966666666669999666996699666666669966666996666666666666
669999999996666669966699666666999999996699999999666669999666666666669969966996699999999669966966996666666666666
669999999996666699999999966666999999996699999999666666996666666666669966996996699999999669969996996666666666666
669966666996666999999999996666999666666699666666666666996666666666669966699996699666666669999699996666666666666
669966666996669966666666699666996666666699666666666666996666666666669966669996699999999669996669996666666666666
669966666996699666666666669966996666666699666666666666996666666666669966666996699999999669966666996666666666666
666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666
666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666
666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666
666996666669966999999996666666669666666666999999996666666699999996669999999966699966669999999966666666666666666
666699666699666999999996666666699966666666999999996666666699999999669966669966669966669966669966666666666666666
666669966996666996666666666666996996666666996666996666666666666699669996669966669966669996669966666666666666666
666666999966666999999996666669966699666666999999996666666666666996669969669966669966669969669966666666666666666
666666699666666999999996666699999999966666999999996666666666669966669966969966669966669966969966666666666666666
666666699666666996666666666999999999996666996996666666666666996666669966699966669966669966699966666666666666666
666666699666666999999996669966666666699666996699666666666699999999669966669966669966669966669966666666666666666
666666699666666999999996699666666666669966996666996666666699999999669999999966699996669999999966666666666666666
666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666
666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666666

January 2, 2010

මී රැජිණගේ මල් වත්ත - 4


මෙම පිංතූරද මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. 
අදද මෙම සටහන ලියන අවස්ථාවේදී මගේ බිරිඳ මා ලඟින් සිටී.
එම නිසා මෙයද මල් ගල් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න....


කැමරා වර්ගය - Sony Cyber-shot DSC-H7



















January 1, 2010

ආවර්ජනාව - 2009

2009 වසරේ මොකද කලේ කියලා බලන්නත් එක්ක තමා මම මේ ලියමන ලියන්නේ. 


ම්ම්ම්.... අහා.... හරි.... 


2009 මුලදී ඒ කියන්නේ ජනවාරි මාසේ නෙමෙයි පෙබරවාරි මාසේ මුලදිම නෙමෙයි ටිකක් මුලදී... අපි අපේ නව නිවසේ කටයුතු ආරම්භ කලා. ඒ කියන්නේ අපි අලුතින් ඉඩමක් මිලදී ගත්තා අපිටම කියලා. පොඩි පර්චස් 11ක් කෑල්ලක් පිළියන්දල නගරයට තරමක් කිට්ටුවෙන්. ඒකනම් ගත්තේ 2008 වසරේදී. ඉතින් ඔන්න ගේ පොඩ්ඩක් හදාගන්න කියලා හිතුන හින්දා අපි පටන් ගත්තා ගේ වැඩ. හිතුන පළියට ගෙවල් හදන්න පුලුවන්යැ. ප්ලෑන් එකක් තියෙන්න එපෑ. ඒ මදිවට ඒක නගර සභාවෙන් අනුමත කර ගන්නත් ඕනෑ. බී. ඕ. කිව්. ඒ කියන්නේ ඇස්තමේන්තුවකුත් හදන්න ඕනෑ. මගේ හොඳ වෙලාවට බිරිඳ රස්සාවෙන් අයින් උනා විතරයි. ඒ හින්දා එයා ඒ වැඩ කරට අරගෙන කලා. මුලින්ම අපි ප්ලෑන් එක හදාගෙන නගර සභාවෙන් අනුමත කර ගත්තා. පස්සේ ඔන්න වැඩ පටන් ගන්න හිතුවා.


මළ කෙලියකි මහ රජ. අපේ ඉඩමට නගර සභාවේ වතුර ලයින් එක නෑ. ඒක එන්නත් තව හෙන කාලයක් යයි වගේ කියලා හිතුන හින්දා අපි හිතුවා ලිඳක් කපන්න. ඔන්න අපි මුලිම්ම කලේ ඒ ලිඳ කපන වැඩේ තමා. හරියටම 2009-02-06 වැනිදා තමයි වැඩේ පටන් ගත්තේ. 2009-02-09 වැනිදා ඒක අහවරක් උනා. ඒ කියන්නේ දවස් 3 කින්.


පස්සේ 2009-02-12 වැනිදා හොඳ නැකතක් බලලා අපි අත්තිවාරම කපලා මුල් ගල තිබ්බා. සති කිහිපයකින් අත්තිවාරම වැද ඉවර උනා විතරයි 2009-02-29 වැනිදා මට රටින් පිටවන්නට සිදු වුනා රැකියාවේ යම යම් කටයුතු වලට. ඉතින් එහෙම ගිහින් ආපහු ලංකාවට අවේ 2009-05-30. හරියටම මාස 3කින්. ගමනේ විස්තරේ වෙනමම කියන්නම් වෙන ලිපි පෙලකින්. අපිට සිංහල අලුත් අවුරුද්දනම් මිස් උනා. :( ඊට පස්සේ මාස කිහිපයනම් නිකම්ම වගේ ගෙවිලා ගියා ජූලි වෙනකම්ම. ජූලි වල ආයෙත් අපෙ නිවසේ වැඩ ආරම්ඹ උනා. අත්තිවාරමට පස් පුරවලා බිත්ති බඳින්න පටන් ගත්තා. ඔහොම බිත්ති බැඳලා ඔක්තෝම්බර් මාසේ ස්ලැබ් එක දාන්න ගත්තා. හම්මෝ.... වියදම් යන හැටි..... අහස උසට... ප... ර්... ර් .....


ඉථින් කොහොමහරි ඒකත් කරගත්තා නොවැම්බර් මාසේ ඉවර වෙනකොටම වගේ. මෙන්න මේ අස්සේ තමා අපේ බබා ( තවම ඉපදී නැත... ) ගැන සිතන්න වුනේ. මෙහෙම ගිහින් ඔන්න දෙසැම්බර් ඇවිල්ලා අවුරුද්ද ඉවර උනා. 


මෙන්න මේ විදියට තමා 2009 අවුරුද්ද ගෙවිලා ගියේ ඔන්න.


JJJ

2010















ලැබුවාවූ 2010 වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!!