June 27, 2010

අනේ දෙවියනේ මට වුනු වියෝයා.


අනේ දෙවියනේ මට වුනු වියෝයා
නොමැති කලට ගෙයි කිසිවෙක් මෙසේයා
නැට්ට තියා කෙසෙල් කැපූ කලේයා
කෙසෙල් කැනත් හොරු අරගෙන ගියෝයා


බිරිඳ පුතා සමග සිටින්නේ ඇගේ ගම වන කටුපොතය. මා තනිවම පිළියන්දලට වී මහා පාලුවකින් කාලය ගත කරන්නෙමි. නිවාඩුවක් ලද සැනින් මා ඇගේ නිවසකරා පියඹායන්නේ නිදහස ලද කුරුල්ලෙකු මෙනි. සෑම සති අන්තයක්ම ගත කලේ ඇගේ නිවසේය. පසු ගිය සතියේ සඳුදා මා පිළියන්දල නිවාසට පැමිණ කල යම් කිසිවක් සිදු වී ඇති බව සිතුනි. විපරම් කරමින් යන විට දුටු දේ නිසා මා හට කෝපය වෙනුවට සිනහ නැගුනි. කිසියම් කෙනෙක් හෝ කිහිප දෙනෙක් අපේ වත්තේ තිබූ කෙසෙල් කැනකට ගේමක් දීලාය.

එය කෙසේද යත්:

බණ්ඩාර වහල්ල ඉතුරුවන පරිදි කෙසෙල් ඇවරි කපාගෙන ගොසින්ය. තවද මල් ඇවරියද ඉතුරු කර ගොසින්ය. මෙලෙස ගහේදීම ඇවරි වෙන් කිරීම කෙතරම අසීරුදැයි කියා අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙය කළ තැනැත්තා කවුරුන් විය හැකිද?


June 17, 2010

අමයුරු රස මේයැයි අප සිතන්නේ

පුංචි පුතා ගිය මාසේ උපන්නේ
නිවස පුරා කිරි සුවඳයි දැනෙන්නේ
අපි දෙන්නා පුතු සමගින් සිටින්නේ
රන් කැටි පුතු හරියට එය නොදන්නේ

බඩගිනි කලට නෑ කිසිවක් සිතන්නේ
දෙකක් වෙන්න මහ හයියෙන් හඬන්නේ
ඒ හඬුමට හනිකට කිරි එරෙන්නේ
සොබා දහමෙ අරුමය මේ කියන්නේ

බඩ පිරුනම මොකවත් නෑ කරන්නේ
පැය දෙක තුන එක පාරම නිදන්නේ
නිදන සිරිය අපි දෙන්නම විඳින්නේ
අමයුරු රස මේයැයි අප සිතන්නේ

හොරෙන් හොරෙන් මා දෙස ඈ බලන්නේ
ආඩමබරකමයි එතන තියෙන්නේ
කිසි වෙනසක් නෑ ඇය මට කරන්නේ
මේක තමා ආදරයයි සිතෙන්නේ



June 5, 2010

දැන් කාලේ කොට්ටෝරුවෝ





දැන් කාලේ කොට්ටෝරුවෝ ඉස්සර වාගේ මෝඩ නෑ වගෙයි පේන්නේ.

මේ බලන්න මේ පිංතූරේ දිහා...




මේ කොට්ටෝරුවා කොටන්න හදන්නේ
කෙහෙල් ගහට නෙමෙයි.
කෙහෙල් මුහේට.








බලමුකෝ ඒකෙත් හැටි. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

June 3, 2010

අපේ පුතාගේ පළමු වීඩියෝ පටය

මෙන්න තියෙනවා අපේ පුතා මෙළොවට ආපු විදිය දැක්වෙන වීඩියෝ පටය.

මේක සමහරුන්ට බලන්න අමාරු වෙන්න පුළුවන්.
ඒක හින්දා පරිස්සමින් බලන්න.
ඔන්න බලලා මට බනින්න එපා ඔන්න...


මගේ නැන්දම්මානම් කිසි ගේමක් නැතුව මේක බලනවා. සමහර ගෑණූ ළමයි නම් පොඩ්ඩක් බය වෙනවා.







http://www.youtube.com/watch?v=2JohvMmg7Dg




http://www.youtube.com/watch?v=j4pXhoMz8sk

මේ දවස්වල බිඟුලන්තයේ ප්‍රවෘත්ති අංශය තරමක් අවිවේකී නිසා අලුත් ආරංචි ප්‍රමා බව කරුණාවෙන් සලකන්න.