March 11, 2016

කොලු වැඩ, බලු වැඩ, කොළුකල මිස වෙන මොනකලද කිව්වලු.. ...


ලියන්න උනේ නෑ කාලෙකින්. වැඩ වැඩිද, නැත්නම් වැඩ කලමණාකරනය නැතිද, කොහොමහරි අන්තිමට උනේ ලියන්න බැරි උන එක තමා..

පහුගිය 6 වැනිදාට අපේ පොඩි එකාගේ තුනත් ඉවර උනානේ. ඉතින් දැන් ඌත් ලොකු එකෙක්.. කරන්නේම චන්ඩි වැඩ තමා. අද ලිපියට උගේ වැඩක් දාන්න හිතුනා..

අපේ ලොක්කා මලයට හෙන ආදරෙයි. අපි මල්ලිට සැර කරනවට නැත්නම් ගහනවට කැමති නෑ. දවසක් මං අහගෙන මෙහෙම කියනවා.

"මට පේන්න බැරි ඔය අත්තම්මගේ කෑගැහිල්ල තමා... මල්ලි තාම පොඩිනේ...  එයාට බෑනේ තවම ඔව්ව කරන්න......"

මං හිතන්නේ රැජිණගේ අම්මා මොකක් හරි කියන්න ඇති මල්ලියට, ඉතින් අයියා ඒක ඩිෆෙන්ඩ් කරන්න හදන්න ඇති... බ්ලා.. බ්ලා...බ්ලා....

ඒත් අයියට මල පැන්නම දෙනවා ඩිග් ඩිද්... ගාලා, හැබැයි ගහන්නේ කොට්ටයක් හේත්තු කරලා. එතකොට රිදෙන්නේ ටිකයිනේ... ඒකටත් හිනා කාලා මැරෙනවා. ( ආදරෙයි + සැරයි )

අයියගේ තියෙනව පරණ පිංතූර පොතක් බැකෝ එහෙම තියෙන. ඒක දෙන්නේ නෑ මලයට ඉරලා දායි කියලා. දැනටමත් ඒකේ පිටු ගොඩක් ඉරිලා තියෙන්නේ ගන්න දෙයක් නෑ... ඒත් අයියා ඒක දෙන්නේ නෑ.

දවසක් මේ පොත තිබ්බා මේසයක් උඩ. අයියා පේන්න හිටියේ නෑ. මලයා සටස් ගාලා පුටුවක් ගෙනාවා නැග්ගා මේසයට. පොත අතට ගත්තා විතරයි අයියා ආවා.. මල කෙලියයි... ඔන්න අයියා එනවා නාලාසිරි ඇතා වගේ කෑගහගෙන... මම එලියේ ඉඳන් සිද්ධිය බලාගෙන...

මල්ලි දැන ගත්තා වැඩේ කේස් කියලා බුග් දාලා පොත විසි කලා බිමට... දැන් පොත අතේ නෑනේ, ඉතින් ගහන්න බෑ.. අයියා ගියා යන්න නිකන් පුස් වෙඩිල්ල වගේ උනේ වැඩේ..

මලයා වැඩේ අතඇරියේ නෑ... මූට කරන්න පුලුවන් දේකුත් නෑනේ.. කලිසම පාත් කලා... චූ කලා පොතට.... ඊට පස්සේ හිමීට බැහැලා ගියා මේසෙන් මුකුත් දන්නේ නෑ වගේ..

මට මැරෙන්න හිනා...

කරපු වැඩේ මම දැක්කේ නෑ වගේ හිටියා. මොකද අනුමත කරන්න බෑ, ඒත් මගේ හිතේ පොඩි සතුටකුත් නැතිවම නෙමෙයි.. තමන්ට පුළුවන් ලෙවෙල් එකෙන් රිටන් එක දුන්නේ.. කලේ මහා කුපාඩි වැඩේ ඒත් මගේ විදියටනම් ඒක කොළු වැඩක්...

මට මතක විදියට රැජිණ අවිල්ල දෙකක් දෙසුවද කොහොද කරපු වැඩේට..
ඒත් මම පස්සේ කිව්ව ඔව්වා ඔය කාලේ නැතිව කවද කරන්න කියලා...
කොලු වැඩ, බලු වැඩ, කොළුකල මිස වෙන මොනකලද කිව්වලු.. ...