August 19, 2010

අපේ එකාගේ තුන ඉවරයි


මළ කෙළියයි නේද? අපේ එකාගේ තුන ඉවරයි!!! තුන ඉවරනම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ. දැන් නියම කාලේ...

හික්ස්... කාලෙකින් බ්ලොග් ලියන්නත් බැරි උනා. ඉතින් ඔන්න කොහොම කොහොමහරි වචන ටිකක් අහුලාගත්තා වෙලාවකුත් එක්ක මොනවාහරි කුරුටුගාන්න හිතාගෙන... එහෙනම් ලියමුකො බලන්න...

ඔන්න අපේ කොල්ලාට දැන් තුනකුත් (මාස ) ඉවර උනානේ. කාලය යන වේගේ... ඉතින් ඔය ගමේ විදියට කරන්න තියෙන චාරිත්‍ර වාරිත්‍ර එහෙම කළා. දන්නවනේ ඉස්සරලාම පුතන්ඩියා ගෙදර එක්කගෙන එන්න කලියෙන් ගේ ඔක්කොම සුද්ද කරලා කහ වතුර ඉහලා සුවඳ දුම් අල්ලලා.... ඔය වගේ වැඩ සෙට් එකක්ම කරන්න තිබුණා. සමහර පළාත්වල නම් ඔය මොකවත් නෑ.. මෙන්න ඉපදුනා. මෙන්න ගෙදර... හරිම සිම්පල් ප්ලෑන් එකක්.... ඒත් අපේ අම්මලා, නැන්දම්මලා හා කිරිඅම්මලා ටිකක් අරවට බරයි. මමත් ඒ කිව්ව සමහර දේවලට 100%ක් එකඟයි.

ඔයන්න ඉතින් කිරිකැටියා ගෙදර ගෙනාවා විතරයි අර කඩමණ්ඩියේ හිටිය කාන්තා පිරිසක් ආවනේ සුටුස් ගාලා... දන්නවනේ ඉතින් ගමේදී හොරෙන් කිඹුහුමක්වත් යවන්න බෑනේ... හැබැයි අපේ නැන්දම්ම දුන්නා එල කවර් එකක්... පුතාව අල්ලන්නවත් දුන්නේ නෑ. උඩින් බලලා යන්න කිව්වා... මොකද කියලා දන්නවනේ... විෂබීජ කඳු, සාගර,  හික්ස්...


ඔන්න ඉතින් පුතාව ඉස්සරලාම වතුර නාවන දවස ආවා. මෙන්න අමුතු ගැජට් වැඩක් කරනවා. දන්නවාද පිණිදිය පනම් අයින් කරනවා කියන සිද්ධිය. මම නම් එදා තමා දැන ගත්තේ. පුතාට ලෙඩ රෝගාදියෙන් පිහිට ආරස්සාව දෙන්න කියලා සතරවරම් දෙවිවරුන්ට බාර වෙනවා. ඊට පස්සේ ඒ වෙනුවෙන් කාසි වගයක් වෙන් කරනවා පඬුරු විදියට. රන් තැඹිලි ගහකින් ගත්ත වේලිච්ච පොල් ගෙදියකින් අතින්ම හදාගත්තු පොල් තෙල් ටිකකුත් ගන්නවා. ඒ පොල්තෙල්වලට තවත් රසකාරක කිහිපයක් දානවා, කරපිංචා වගේ සුවඳ එන්න. ඔන්න ඔය විදියට හදා ගත්තු විශේෂ තැඹිලි තෙලට අර දෙවියන්ට වෙන් කරපු කාසි දානවා. පස්සේ කිරි අම්මා කෙනෙක් බුදුන් වැඳලා එහෙම දෙවියන්නට කන්නලව්වක් කරනවා පුතාව ලෙඩ රෝගවලින් ආරස්ස කරලා දෙන්න කියලා. එහෙම කරලා අර තැඹිලි තෙලෙන් පොඩ්ඩක් අරගෙන් ඔලුවේ ගානවා. දැන් තියෙන්නේ නාවන වෙලාව. මේකට සමහරු වෙලාවකුත් බලනවා. අපිනම් බැලුවේ නෑ. දවල් 12ට කලින් හොඳට ඉර පායපු වෙලාවක් තෝරා ගන්නවා . ඉතින් කලින් හදාගත්තු පොල්කටුවක් අරගෙන, දන්නවනේ පොල් ගෙඩියේ උඩ බෑයක් අරගෙන හිලක් හදලා එහෙම ගන්න එක, ඔන්න නාවන්න ගන්නවා. මේ අතරේ කිරි අම්මා කවියකුත් කියනවා. පළවෙනි වතුර පාරටනම් පුතා එක පාරම ගැස්සිලා යනවා. ඊට පස්සේ ගොඩ. ටිකක් උණු වතුර නිසා පුතා ඒකට කැමතියි. ඔන්න ඉන්නවා ෆුල් ආතල් එකේ. ඉතින් නාවන පොල්කටු ගාන ගනින්නත් ඕනෑ. ඉස්සරලාම 50ක් නෑව්වා. පස්සේ පස්සේ ඒක වැඩි කරනවා. ඔන්න ඔහොම තමයි පුතා නාන්න ගත්තේ...

කියන්න අමතක උනානේ. වතුරෙන් ගත්ත ගමන් දුන්නා හූව ගේම දෙකක් වෙන්න. අම්මෝ... බය හිතෙනවා.. දුකත් හිතෙනවා... සීතලට මොර දෙනකොට....

ඉතින් ඔන්න ඔය විදියට ටික දවසක් ගියා. මෙන්න ඉතින් ඉන්ජෙක්ෂන් කෝස් එක පටන් ගත්තනේ... අම්මෝ... මට දුක..ක හිතුනා. පව් අනේ.. හෙක්සා කියලා මගුලක් විද්දා... පුතා ඇඩුවා... ඒ විස්තරේ පස්සේ ලියන්නම්කෝ..
අදට මේ ඇතිවගෙයි...
ඕන් මං ගියා...