December 8, 2009

විචාරය - අම්මා සඳකි

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පියසෙනෙහසට කව්ගී ලියවුනා මදී...


සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවිබර මට රැඳුනේ
මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ...


මවකට මුවාවී නුඹ වෙත දිවිදුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..





ටී. එම්. ජයරත්න මහතා ගායනා කරනා "අම්මා සඳකි" ගීතය මා ප්‍රිය කරනා ගීතවලින් එක් ගීතයකි. අප මෙම ගීතය ගැන කාගෙන් හෝ විමසනවිටදී පවා අප අසන්නේ "ඔබ අම්මා සඳකි ගීතය අසා තිබේද?" යනුවෙන්ය. නමුත් ඔබ මොහොතක්වත් එහි ඊළඟ පද දෙක ගැන විමසුවාද? එයනම් "මම ඒ ලොව හිරුය රිදී". ඇත්ත වශයෙන්ම පවසනවානම් මමද එය එලෙසින්ම පවසා ඇත. නමුත් අප මෙහි සිතිය යුතු මහා බැරෑරුම් අදහසක් පවතී යන්න මගේ අදහසයි. මෙම ගීතය රචනා කල රචකයා කුමන අදහසකින් මෙය රචනා කලත් රසිකයාට කැමති අයුරකින් එය විචාරය කල හැකිය. සමහරවිට මගේ විචාරය රචකයාට පරස්පර විය හැකිය.


දරුවකුට පියකු පිළිඹඳව ආදරයක්, සෙනෙහසක් හෝ බැඳීමක් ඇතිවීමට බොහෝ කලකට පෙර අම්මා ගැන ආදරයක් උපදී. මා සිතනා පරිදි එය සිදුවන්නේ දරුවා අම්මාගේ කුසතුළ වැඩෙනා සමයෙදීමය. එම නිසාමදෝ බොහෝදෙනා අම්මා ගැන කවි, ගී රචනා ලියන්නට විය. අකුරු කියවනවිටදී පවා පටන්ගන්නේ "අ අම්මා" කියා මිසක් "ත තාත්තා" කියා නොවේය. මෙහි කිසිදු වරදක් මා නොදකී. එය එසේම විය යුතුය. මේ ගැන පියාටද කිසිදු තරහක්වත් දුකක්වත් ඇතිවන්නේද නැත. නමුත් අම්මාගේ ආදරයට නොදෙවෙනි ආදරයක් පියා තුලද පවතී. මෙය දරුවකුට තේරුම් නොගන්නේ මන්දැයි යන්න පියාට මහත් ගැටළුවකි. එමනිසා පියා තුල ඇතිවූ වේදනාබර සිතිවිලි මෙලෙස පත් ඉරුවල බොඳ විය.


පුතේ, උඹේ ලෝකය එළිය කරන්නේ ඉරයි, හඳයි. උඹලගේ අම්ම හරියට පෝයදාට පායපු පසොලොස්වක හඳ වාගෙයි. හරිම සෞම්‍යයයි. පොඩ්ඩක්වත් සැර නෑ. උඹට ගහනකොට බනිනකොට උඹව බේරාගන්නා අම්මාගෙන් විතරක් නෙමෙයි පුතේ උඹේ ලෝකය ලස්සන වෙලා තියෙන්නේ. අම්මට එහෙම හඳක් වෙලා පායන්න, උඹේ ලොකය එළිය කරන්න මමත් පුතේ දහදුක් විඳලා තියෙනවා. උඹ අම්මගෙ බඩේ ඉන්න දවස් වල මම වැඩිපුර කුලී වැඩ කලා පුතේ වැඩිපුර කීයක් හරි හොයාගන්න. ඒ කලේ පුතේ මට කන්න නෙමෙයි, උඹලගේ අම්මට මාළු කෑල්ලක් ගන්න, හොඳ එළවලු ටිකක් කන්න දෙන්න. මගේ අතේ කරගැට එනකන් මම වැඩ කෙරුවා පුතේ. ඒ පුතේ උඹට තියෙන ආදරේටමයි.


උඹ ඉපදුනවෙලාවේ අම්මාවගේම මමත් ගොඩාක් සතුටුවුනා. පුතේ උඹ දන්නවද උඹේ දුවන්නෙත් මගේ ලේමයි කියලා. මගේ ලේ තියෙන රත්තරං පුතේ මම උඹව මගෙ බඩේ තියාගෙන හැදුවෙ නැති උනාට මට ගෙදර බර තිබුනා උස්සාගෙන ඉන්න. උඹට කන්න අඳින්න දෙන්න, ලෙඩට දුකට බෙහෙත් අරන් දෙන්න, ඉස්කෝලෙ යවන්න, ලොකු උගතෙක් කරන්න. උඹට පොඩ්ඩක් අසනීප වෙනකොට වෙද මහත්ත්යා ගාවට උස්සාගෙන ගියේ මගෙ ඔලුවේ ගිනිගොඩක් තියාන පුතේ. පුදුමයි පුතේ මෙහෙවු කෙරූ මගේ ලේ කිරි නොවුනා උඹේ අම්මගෙ වගේ.          


උඹ දන්නේ නැති උනාට පුතේ උඹලගෙ අම්මත් එක්ක එකට ඉඳලා තමයි මම උඹට පණ දුන්නේ. උඹ ඒක තෙරුම් ගනියි ලොකු උනාම. එහෙව් කරපු මගේ සෙනෙහස උඹට පෙනෙන්නේ නැද්ද මගෙ ආදර පුතේ? උඹලට අම්මගේ ආදරේ විතරද පේන්නේ? මං කොච්චරනම් ආසද උඹ ඒක තේරුම් ගන්නවද? අම්ම වගේම මමත් උඹට ආදරෙයි කියලා.


අවසානයේදී පියා මෙලෙස පවසන්නේ තරමක කේන්තියෙනි.
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ

3 comments:

  1. නියම විචාරයක් මචං . . . හරිම ලස්සනට බොක්කට ම වදින්න උඹ ලියලා තියෙනවා . . මාට් හ්දවසක් පිය සෙනෙහස ගැන ලිපියක් ලිව්වා හැබැයි ඒක විචාරයකට වැඩිය පියගුණ ගීත ටිකක් ගැන ලියපු ලිපියක් . . සමහර විට උඹ බලලා ඇති මේ ඒ ලිපිය . . නැතිනම් මේ පහල තියෙන ලින්ක් එකෙන් බලපන්.

    ඒක ලියන්න හේතු වුනේ මගේ පවුලට සම්බන්ධ කෙනෙක් කියලා තියෙනවා මම මගේ පුතාට ආදරේ නෑ කියලා ඒ කෙනා එහෙම කියලා තියෙන්නේ මගේ බ්ලොග් එකේ පුතා ගැන මොකුත් ලිව්වේ නෑ කියලා . . .

    මම මගේ පුතාට හරිම ආදරෙයි . . මටත් වෙලාවකට හිතෙනවා ඇයි මට කිරි එරෙන්නෙ නැත්තේ කියලා ඒ ආදරේට . . . .!!

    http://dukaa.blogspot.com/2009/10/blog-post_4101.html

    ReplyDelete
  2. ම්... නියමයි. මම ඒක අද තමා කියැව්වේ. නියම්යි ඒ පෝස්ට් එක. අද අපේ කොල්ලන්ට විශේෂයෙන්ම තාත්තා කියනනේ කවුද කියන එකත් මතක නෑ තාත්තාගේ ආදරය තියා. මම කියන්නෙත් ළමයෙකුට පිය සෙනෙහේ තේරෙන්නට ටික කාලයක් යන එක ඇත්ත. නමුත් ඔයා කියනවිදියටම අම්මගෙත් පොඩි වගකීමක් තියෙනවා ඒකට.`

    /නිශාන්ත

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!