December 23, 2009

අපේ බබා - 3 වන මාසය

ඔක්තොම්බර් 20 වැනිදාට අපේ නූපන් බබාට මාස 2ක් ගෙවී 3 වන මාසයද එළඹ තිබුණේය. මෙම මාසයනම් තරමක භයංකාර එකක් විය. මා එසේ පැවසුයේ ඇයිදැයි මෙම පිටුව අහවර වන විට ඔබට හොඳටම අවබෝද වනු ඇත. දැන් දැන් මගේ බිරිඳට කෑම අරුචිය නිතර සෑදෙන්නේය. ගැබිණි සමයේ මුල් මාස කිහිපයේදී "උදා වමනය" බොහොම සාමාන්‍ය දෙයකි. "උදා වමනය" යනු මොකද්ද කියලා මගෙන් නම් අහන්න එපා. ඒක ඕනෑම අම්මා කෙනෙකුන් අසුවහොත් මනා පිළිතුරක් සොයා ගත හැකිය. නමුත් මෙම වමනය උදා වමනයයැයි නම් කලද සමහරුන්ට මෙය දවස පුරාම පවතී. මගේ බිරිඳටද දවසේ වැඩිපුර කාලයක් මෙම ක්‍රියාවලියට සම්බන්ද වීමට සිදුවිය.

උදෑසනම නැගිටින ඇය වෙනදා වගේම කිරි කෝප්ප දෙකක් සාදන්නීය. ඇය බොහෝ විට කිරි එක නිවා බොන්නට කැමතිය. නමුත් මා නම් කැමති උණු උණු කිරි කෝප්පයටය. තේ එක සාදන අතරතුරේ මා අවධි කරනා අතර මමද මූණ සෝදාගෙනවිත් ඇගේ රසම රස කිරි එක බොන්නේ හරිම ආසාවෙනි. මීළඟට ඇය බත් එක ලිපේ තබා එළවළුක් දෙකක් සාදන්නීය. මෙන්න මෙම වෙලාවේ ඇයට "උදා වමනය" පටන් ගන්නේය. දැන් ඉතින් කිසිවක රස බලන්නට ඇය සූදානම් නැත. වෙනදා කිරිවල රස බලා පදම නියම ගානට ඇත්දැයි විමසන අතර දැන් ඇය කිරි සුවඳටත් කැමති නැත.

"අනේ මම කිරි හැදුවා. රහනම් බැලුවේ නෑ. පොඩ්ඩක් බලන්න අනේ." කියමින් ඇය එම කාර්යය මට පවරන්නීය.
අනේ! අහොයි! "අපි කවදද රහ බල බල කිරි හැදුවේ. හැදිච්ච කිරි එකේ රහ බලනව මිසක්.." කියලා මම ඔන්න ඔහේ කිරි එක ඇදලා අරිනවා.

මටනම් කිසිම අමුත්තක් දැනෙන්නේ නෑ. මට හිතන්නේ ඇය පුරුද්දට දමන පදම මම "හෙන ගේමක් දීලා" හදන එකට වඩා රසයි කියාය. කෙසේ හෝ දැන් පැමිනෙන්නේ මහත් භයංකාර අවස්ථාවයි. "අනේ... ඔය හොද්දේ ලුණු බලනවද?... අනේ අනේ...මේ සම්බෝලේ ඇඹුල් ඇද්ද්?" මෙලෙස නොයෙකුත් ආහාර වර්ග වල පදම බැලීමට දැන් මට සිදු වී ඇත. මගේ පූරුවේ පිණකටදෝ කොහෙද මට ඉහුම් පිහුම් ගැන යන්තම් යමක් කමක් කර ගැනීමට පිළිවන්ව තිබුනි. ඉහුම් පිහුම් යනු 99.99%ක්ම කාන්තාවන්ගේ ක්‍රියාවක් ලෙස මා අදහන දෙයකි. මෙය බොහෝ පිරිමිද අදහන්නකි. එසේ වන්නේ පිරිමින්ට මෙම කාර්යය නොහැකි නිසා නොව පිරිමි උයන වැඩට කම්ම්ලි නිසාය. :)

පිංතූරේ ගත්තේ මෙතනින්.



ඉතින් ඔන්න කොහොම කොහොම හරි මොනවහරි එළවලු ටිකක් තම්බ ගන්නවා. ලුනු මිරිස් ඔක්කොම මගේ පදමට තමා. අනේ මන්දා! එයාට ගානක් නෑ. මොකද වමනේ යන හින්දා කන්න බෑ. රස දැනෙන්නේ නෑ හරියට. සමහර වෙලාවට තවත් ටිකක් මිරිස් එහෙම වැඩි කරලා එයා හොඳයි කියනවා. මට නම් ඒකේ වැඩි වෙනසක් නෑ. "අක්බාර්" එකේ අපි කාපු ජරාව එක්ක ඕනෑම එකක් ඔට්ටුයි.

ඔන්න ඉතින් මම යනවා ඔෆිස් එකට. ගියාට මොකද මගෙ හිත නම් ගෙදරම නවතිනවා. ගිය වෙලාවෙ ඉඳලම මට හිතෙන්නෙම "අරය කෑවද දන්නේ නෑ, ආයෙත් වමනේ ගියාද දන්නේ නෑ, නිදිද දන්නෙත් නෑ..." වගේ අදහස් ගොන්නක්. මහා බරක් වගේ දැනෙනවා. පුලුවන් වෙලාවක් ආවොත් මම ඉතින් කෝල් එකක් නොදී ඉන්නේ නෑ මොනවා උනාද කියලා බලන්න. සමහර වෙලාවට දවල්ට කාලා නැතිව නිදි. සමහර වෙලාවට වමනේ ගිහින් ආයෙත්. අල්ලපු ගෙදර අක්කා තමා මොනවට හරි දුවගෙන එන්න ඉන්නේ. ඒක යාන්තම් මට අස්වැසිල්ලක් උනා.

මම හරියටම 5යි බිංදුවට ඔෆිස් එකෙන් පිට වෙනවා. රුන් ගාලා ගෙදර එනවා. මගදී පළතුරු මොනවා හරි ගන්නම් අමතක වෙන්නේම නෑ. ඔය අතරතුරේ අපේ අම්ම ආවා හරියට නිකන් කාන්තාරෙට වැස්ස වගේ. අම්මා ඉන්න හින්දා දැන් උයන පිහන වැඩේනම් ගොඩ. ඒත් එයාට වමනේ යන එක... හපොයි ඒක නන්ස්ටොප් එකේ යනවා. පස්සේ දවසක අපි ගියා ඩොක්ව හම්බ වෙන්න. ගිහින් කිව්ව මෙයාට වමනේ යනවා කියලා.

"ඒක හොඳයිනේ. වමනේ යන අයගේ ඇබොර්ට් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. ඒක හින්දා බය වෙන්න එපා. තව ගොඩාක් ගියොත් අපි බේතක් බොමු". කියලා ඩොක් කීවම එයාට ෆිට්.
ඒත් අම්මෝ වමනේ යන හැටි දැක්කම මටනම් බය නොහිතුනාම නොවෙයි. කන්නත් බෑ. බොන්නත් බෑ. ඒත් වමනේ නවතින්නෙත් නෑ. බය හිතෙන්නේ නැත්තේ මොකාටද ඉතින්. අපේ අම්මනම් කිව්වා ඕක සාමාන්‍ය දෙයක් කියලා. අපි කෝකටත් කියලා ඩොකා හමබ වෙන්න ගියා.

ආ... කියන්න අමතක උනානේ... මෙන්න මෙයාට එක පාරම අමු දිවුල් කන්න හිතුනනේ. මම මාර්කට් එක පීරල අමු දිවුල් හෙව්වා. සමහර එව්වා අමු වගේ පෙනුනට පලපුවාම ඉදිලා. මොනවා කරන්නද ආයෙත් ගිහින් හොයනවා. මන් හිතන්නේ ඒකට තමා "දොලදුක" කියන්නේ. මොන දුක හරි මං එපෑ දුවන්න. හඃ හඃ හා... දවසක් මාර වැදක් උනනේ. මෙයයි අපෙ අම්මයි ගියා බඩු ගේන්න පිළියන්දල. ගිහිල්ලා හොඳ අමු දිවුල් ගෙඩි 2කුත් හොයගෙන ඉඳලා. මෙයාලට මේ දිවුල් මල්ල අමතක වෙලා ඇවිල්ලා ෆුඩ් සිටි එකේ. ගෙදර ආවහම තමා ඒක මතක් වෙලා තියෙන්නේ. "අනේ අපේ අර මල්ල, ඒක අර ෆුඩ් සිටි එකේ බැරිවෙලා ඇවිල්ලා. ගිහිල්ලා ගේනවද?" "මං හවස යන්නම්" කිව්වා විතරයි මෙන්න මූණ නිකන් සතපහ කර ගෙන ඉන්නවා. අපේ අම්මත් ඒක දැකලා කිව්වා මට යන්න කියලා. මටත් දුක හිතුනා ඒ මූණ දැකලා. මං සටස් ගාලා ගිහින් ඒක ගෙනාවා. අමු දිවුල් ගෙනාවා විතරයි මෙන්න මෙයා ඒක පලාගෙන රහ කර කර කෑවා. මට හරිම පුදුමයි. බලමුකෝ ඒකෙත් හැටි නේද?

ඔන්න ඔය විදියට නොවැම්බර් මාසේත් ගෙවීගෙන ගියා.

6 comments:

  1. මේ ලියුම දැකල,මටත් දිවුල් කන්න අසා හිතුනා

    ReplyDelete
  2. den meeke maathrukaaawa wenas karanna ekko apee ekkena ekko diwul :P

    ReplyDelete
  3. අනේ හරි ශෝක්.. එහෙනම් තව මාස 7කින් විතර අපි සබන් පවුඩර් ලෑස්ති කර ගන්නම් නේද බබාලා බලන්න එන්න..

    ReplyDelete
  4. @malee_msg

    එන්න එන්න...
    ඕං අපි බලාන ඉන්නවා හරියැ!...

    /නිශාන්ත

    ReplyDelete
  5. ගනන් ගන්න එපා කොල්ලෝ, අපිත් ඔය කට්ට හතර පස් වතාවක්ම කාල තියනවා. ඔය උදේට තියන අමාරුවට හොඳ බේතක් තමයි ඇ‍ඳෙන් නැගිටින්න ඉස්සර ක්‍රීම් ක්‍රැකර් එකක් දෙකක් කන එක... අමාරුවෙන් හරි කා ගත්තොත් ගොඩ කියලා නෝනට කියන්න... ඔය කොයි අමාරුවත් පැටියා දකිනකල් විතරක් නිසා ඉවසගෙන ඉන්න බලමු...

    ReplyDelete
  6. @සිංහ

    අහා.... ස්තුතියි අදහසට... මං කියන්නම්කෝ නෝනට....

    මේ ඒක නෙමෙයි 4, 5 වතාවක් කිව්වේ.... දැන් බබලා කීයක් ඉන්නවද?
    ගොඩාක් ඉන්නවද?
    නෝනත් කැමති ගොඩාක් හදන්න....

    /නිශාන්ත

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!