December 10, 2009

අපේ බබා - 2 වන මාසය

දැන් දැන් මගේ බලාපොරොත්තු ඉහළ යමින් තිබුනේය. කෙසේ හෝ මට දැන් අවශ්‍යව තිබුනේ මේ මොකද්ද යන්න දැනගැනීමය. "මේක නම් බබෙක්ම වෙන්න ඕනෑ" කියලා මගෙ යටිහිත කීවත් පුංචි පහේ අවිනිශ්චිත බවකුත් හිතේ හොල්මන් නොකලාම නොවෙයි. ඒ බව මම බිරිඳට නොපවසා සිටීමට තරම් මම පරිස්සම් උනෙමි. කෙසේ හෝ අපි මීළඟ සෙනසුරාදා පවුලේ දොස්තර හමුවන්නට යොදා ගත්තෙමු. මේ අතරතුර පොඩි සිනහ නැගෙන වැඩක් සිදුවූ අතර මම එය සඳහන් කිරීමෙන් වැලකී සිටින්නෙමි. එය කුමක්ද කියා මගෙන් නම් අහන්න එපා.

ඉතින් ඔන්න සෙනසුරාදා දිනය එළඹුනා. "ඔයා ඉස්සරලා යන්න, මට නිකන් මොකද්ද වගේ" කියමින් ඇය මාව ඉදිරියට තල්ලු කරමින් මගෙ පසුපසම ආවය. ඇත්තවශයෙන්ම පවසනවානම් මටද මේ වනවිට තරමක චකිතයක් නොතිබුනා නොවෙයි. මෙවැනි සිද්ධියකට මුහුණදුන් පළමු අවසථාව මෙය බැවින් මමද තරමක් අපහසුවකට පත්ව සිටියෙමි. නමුත් මා ඒ බව බිරිඳට නොතේරෙන පරිදි මුහුණ සිනහවකින් සරසාගෙන "හරි හරි... මං යන්නන්, ඒ උනාට ඔයාවනේ චෙක් කරන්න ඕනෑ. මම නෙවෙයිනේ" කීවෙමි. එයට මද සිනහ නැගූ ඇය "යමු යමු.." කීවාය.

"යමු යමු අනේ විහිළු නොකර, සෙනඟ බලාන ඉන්නවා" යැයි බොරුවට කියමින් මාව ඉදිරියට තල්ලුකලාය. දැන් එළඹ ඇත්තේ තරමක අසීරු අවස්ථාවකි. "මම මේක කොහොමද කියන්නේ..." දහසක් සිතිවිලි මගේ සිතතුළ තෙරපෙන්නට විය. "මෙයාට බබෙක්ද කියලා චෙක් කර ගන්න ඕනෑ, චෑ... චෑ... චෑ... ඒක හරි නෑනේ. පොඩි කඩු වචන දෙක තුනක් දාල අහනවා, ඒක ෂේප්නේ. අන්න හරී, ඔව්, ඔව් ඒක හරි...." මෙන්න මේ විදියට නොයෙකුත් විකාර අදහස් එන්නට විය. අප දැන් ඉන්නේ දොස්තර ඉදිරියේය. "ආ... වාඩිවෙන්න. මොකද අද... ම්..." කියමින් දොස්තර සුපුරුදු විදියට අපට අපව පිළිගත්තේය. "මේ... මේ.. මෙයා ප්‍රෙග්නන්ට්ද කියලා මේ ටෙස්ට් කරගන්න ඩොක්ටර්..." බිරිඳ දෙසට ඇඟිල්ල දිගු කරමින් තරමක අමාරුවෙන් මම වචන ගලපා ගත්තෙමි. "ආ.. බලමු, බලමු..." කියමින් දොස්තර පරීක්ෂණයක් කලේය.



මේ අතරතුර ආ ගිය තොරතුරු විමසමින් සිටි ඔහු එකපාරම "මෙයාට බබෙක් ඉන්නවා, බලාපොරොත්තුව නේද හිටියේ" කියමින් ඉඟිමරමින් සිනාසුනේය. මට එකපාරම ඇයගේ අතින් ඇල්ලිනි. ඇයද මගේ අත තදින් මිරිකුවේ මුවෙහි රෝසමලක් වගේ සිනහවක් පුරවාගෙනය. මට ඇයව සිඹින්නට අවශ්‍යව තිබුනත් මම ඉවසාගෙන සිටියෙමි. දොස්තර යම් බෙහෙත් වර්ග කිහිපයක් ලියාදුන් අතර අපට සුභ පැතුවේය. එතැනින් අප පිටවුනේ හනිකට නිවසට එන්නටය. "මම දැන් මොකද කරන්නේ... ම්.. මේක සමරන්නත් ඕනෙනෙ" යැයි සිතූ මම ලොකුම ලොකු "කැන්ඩොස්" වර්ගයේ චොකලට් එකක් ගත්තේ අප එදා සිට යමක් සමරනවිට පළමුව එන්නේ චොකලට් නිසාය. "අනේ එපා" කියමින් ඇය එය අතට ගත්තේ සුපුරුදු ලෙසින්ම බොරුවට ආඩම්බරපාමිනි. ඇය මෙම වර්ගයේ චොකලට් සඳහා බොහෝ කැමතිබව මා දන්නේ මීට වසර ගනනාවකට කලින් සිටය.

මේ වනවිට සැප්තැම්බර් මාසයේ අවසානයටද පැමිණ තිබුනා.

2 comments:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!