බිඟුලන්තය - මුහුදු තීරය
ඔන්න එකෝමත් එක කාලෙක මහා සාගරය මැද තිබුණා දූපතක්. ඒකට හැමෝම කිව්වේ බිඟුලන්තයකියලා. වෙරළ වටේ සිප්පි කටු පිරිලා හරිම ලස්සනයි. අතරින් පතර කොරල් ගල මල් එහෙමත් තිබුණා. දූපතක් හින්දා වටේම මත්ස්‍ය සම්පතත් සපිරුණ එකක් වුනා. හැන්දෑවට ඉරගල වැටෙන ඇහිල්ලට හරිම ලස්සනයි. රන්වන් පාට හිරු කිරණ මුහුදත් අහසත් යා කරන මායිමේ වැටිලා කියන්න ආසාවේ බෑ. ඒ වගේමයි උදේට තියෙන මුහුදු රැල්ල. හරිම දිග රැළි සුදු පාටට වෙරළ සිපගෙන ආපසු යන හැටි පැය ගාණක් වුනත් බලාගෙන ඉන්න පුළුවන් තරම සුන්දරයි. කොරල් අස්සට අව්ව වැටිලා එක එක පටින් දිළිසෙනවා. එක මුහුදු තීරයක්ම මේ කොරල් වලටම වෙන් වුනු එකක් විදියටයි සැලකුනේ. මේ අස්සේ පාට පාට පුංචි මාලු එහාට මෙහාට පීනලා ගියේ හරිම විනෝදයෙන්. මේ පුංචි මාළුවොත් දැනගෙන හිටියා මේ තීරයේ ලස්සන.
මහ මුහුදේ තට්ට තනිව මෙය පිහිටන්නේ
කවුරුත් මෙය හරිම අගේ කියා කියන්නේ
දූපතක් ලෙසට හරිම වටී සැවෙමො සිතන්නේ
බිඟුලන්තය කියා එයට නමක් හැදෙන්නේ
ලස්සන මේ රට වටේට මහ මුහුද තියෙන්න
වෙරළේ දිගේ තියෙන සිරිය එය පහදන්නේ
සිප්පි කටුවලින්ම පුංචි වෙරළ පිරෙන්නේ
මෙය දුටු කා කාගෙත් සිත් පිනවන්නේ
කොරල් පරයි ගල් මලුයි ගැවස තියෙන්නේ
පාට පාට පුංචි මාළු අතර සිටින්නේ
ලොකු මාළුන් මෙතනට එන්නෙම නෑ සිතෙන්නේ
පුංචි මාළු කිසි බයකින් තොරව ඉඳින්නේ
හැන්දෑවට ඉර දෙයියෝ යන්නට යන්නේ
අහස මුහුද එක් වන තැන එය සිදුවෙන්නේ
රන්වන් පැහැ අහස් තලේ පාටම ගන්නේ
හිරු දෙයියන් නැති හින්දද ඔබ දුක් වෙන්නේ
බිඟුලන්තය - දිය ඇල්ල
බිඟුලන්තය මැද්දේ තරමක ලොකු කඳු ගැටයක් තිබ්බා. මේකෙන් පුංචි දොල පාරක් පටන් අරගෙන හිමීට ගලාගෙන ගියා. මේ දිය උල්පත කවදාවත්ම සිඳුනේ නෑ. අවුරුද්ද මුලුල්ලේම වතුර ගලන්න තරම් මෙයාට හයිය හත්තිය තිබුණා. තද නියඟයක් ආව කාලෙකදී පවා මේ දිය උල්පත සිඳුනේ නෑ. පුංචිම පුංචි දිය සිරාවක් හරි ඒකෙන් මතුවෙලා ගලා යන්න තරම් වුනා. මේ දිය පහරට මගදී තවත් පොඩි දිය පහරවල් එකතු වෙලා තරමක ලොකු ගඟක් විදියට තමා මුහුදට එක වුනේ. මේ ගඟ අර කන්ඳෙන් පහලට වැටෙන එක තැනක පොඩි දිය ඇල්ලක් හදවමින් තිබුනා. මෙතන හරිම ලස්සන තැනක් වුනා. අඩි 30ක් විතර උසට වැටෙන මේ දි ඇල්ලෙන් ඒ ප්‍රදේශයටම පුදුම ලස්සනක් ගෙන දෙමින් තිබුණා. දිය ඇල්ලේ ගුමු ගුමුවයි පරිසරයේ විහඟ නදයි ඒ පැත්තම සුර විමනක් බවට කරන්න තරම් සමත් උනා.
බිඟුලන්තය මැදිවෙන්නට කඳු ගැටයක් ඇත්තේ
ඒ කන්දෙන් දොළ පාරක් හටගෙන ඇත්තේ
කවදාවත් නොසිඳෙන බව කවුරුත් දත්තේ
එකම එක බිඳක්වත් එහි ගැවසී ගත්තේ
ඈ දැන් ලොකු වෙලාය ගංඟාවක් වෙන්නේ
ඇගේ තරුණ කාලේදීම ඈ දරඳඩු වන්නේ
ගලක් දැක්කොතින් පනින්නටයි හිත දෙන්නේ
එහෙම කලාමයි ඔය දිය ඇලි ඇති වෙන්නේ
අඩි ගාණක් උඩ ඉඳලා බිමට පනින්නේ
කිසි ගාණක් නැතුව වගේ අපිට පේන්නේ
කොහොමවුනත් හරිම හැඩයි කැපිල පේන්නේ
අපි පැන්නොත් ඔහොම නොවෙයි පෙනිල කැපෙන්නේ
විහඟ නදයි ගුමු ගුමුවයි රසය මවන්නේ
සීතල පිණි බිංඳු ටිකත් එකතුම වෙන්නේ
සුදු කැටියට පෙණ බුබුලුයි මෙන්න නගින්නේ
කියන්න බැරි අසිරියකුයි ඉන් ඇති වෙන්නේ
බිඟුලන්තය - කැලය
බිඟුලන්තයේ එක් පැත්තකට වෙන්න පොඩි කැලයක් තිබුණා. මේ කැලය අලි කොටි වගේ නපුරු සත්තුගෙන් ගහන ප්‍රදේශයක් උනා. ඒ වගේම හාවුන්, ගෝනුන්, මුවන් වැනි අහිංසකයින්ද අඩු නැතුවම හිටියා. හැබැයි මේ කැලේ රජෙක් කියලා සිංහයෙක්නම් හිටිය් නෑ. මේ වනේ මැද්දෙන් අර ඉස්සරලා කියපු ගඟ ගලන්නට වූයෙන් සතුන්ට වතුරෙන් නම් කිසි අඩුපාඩුවක් වුනේ නෑ. ඒ වගේම මේ කැලයේ තැනින් තැන පොඩි දිය කඩිති තිබුණා. ඒවා අර අහිංසක මුව පොව්වන්ට දරුණු කොටින්ගෙන් ආරක්ෂාවෙලා තමන්ගේ පිපාසය සංසිඳවාගන්න කදිම තෝතැන්නක් වෙලා තිබුණා. මේ දිය කඩිති අසල ලොකු පහේ කිඹුල් රාලලාත් අව්ව තපින්නා සේ දෑස් පියාගෙන සිටියේ ගොදුරක් දැහැගැනීමට නොවේමයි කියලා කියන්න බෑ. අවස්ථාව ආව ගමන් ඔවුන් ක්‍රියාත්මක වෙලා තමන්ගේ බඩ ගොස්තරය පුරවාගන්නා බවත් මේ හිටිය අහිංසකයින් දැනගෙන හිටියා. ඒ හින්දා හැමෝම පරිස්සමින් තමා ජීවත් වුනේ. පිඹුරා, නයා, පොළඟා වගේ බඩගාගෙන යන අයත් කීප දෙනෙක්මත් මේ කැලයේ එක් පැත්තක් අයිති කරගෙන හිටියා.
ලොකු පොඩි ගස් එකතු වෙල එක කැලයක් තියෙනා
මල් පළතුරු හැම අත්තක පිරිලා තියෙනා
කුරුල්ලන්ට ගී ගයන්න තුරු මුදුනින් සරනා
සුරපුර වන් මෙවන් තැනක් කොහිදැයි සිතෙනා
කුරුළු කැදලි අතු අග එක එක සැදෙනා
ටික දොහකින් ඒවායින් ගී හඬ ඇසෙනා
කුරුළු පැටව් දෙමා පියන් සතුටින් සිටිනා
සොඳුරු දසුන් කාගෙත් මන දොල පිනනා
පුංචි පැටව් බේරා ගන්න කැදැල්ලේ සිටිනා
දෙමාපියන් සෑම විටම අවදිව ඉන්නා
උකුසු රජා මේ කිසිවක් ගනනට නොගෙනා
පුංචි පැටව් එක කටටම ගිලගෙන යන්නා
උකුස්සාට නොපෙනෙන්නට කූඩුව තනනා
කුරුළු මවක් සිතා සිටී අනතුරු නොවෙනා
ගැරඬි ආදී උරගයින්ගේ උෂ්ණය දැනෙනා
අනේ අපිට මොන සරණක් හදවත කියනා
නපුරු රුදුරු කොටියන් ගැවසී ගත්තේ
මහ විශාල අලියන් හැම තැන ඇත්තේ
මීට නපුරු වලසුන් නම් මෙහි නැත්තේ
හරිම දරුණු අය නම් පිරිලා ඇත්තේ
දරුණු අයට විතරක් නොව මේ කැලය
මුව පොව්වන් හා පැටවුන් එක රැලය
සිත් සේ දුවන්න්ට එහෙ මෙහෙ නලිය
රැදුනේ මේ තුරු අතරයි රඟ කෙලිය
කැලේ රජා කියනා සිංහ බොලන්නේ
නපුරු නෑලු බඩ පිරුනම කියන්නේ
කෙසර තියෙන අය හරි අඩුවෙන්නේ
කිසිම එකෙක් හිටියේ මේ පෙදෙසෙන්නේ
තැන තැන තියෙන දිය කඩිතී හරිම අගෙයි
කැලේ අයට පිපාසයට සුවය ගෙනෙයි
කිඹුල් රාළ මේ අසලම තපස් රකියි
අවස්ථාව ආව ගමන් සීලේ කැඩෙයි
බිඟුලන්තය - කැලය (IV) - උරගයෝ
පිඹුරා නම් අහිංසකයි කියන්නේ
එයා නෑනේ එලවාලා හපන්නේ
වෙලාගත්තොතින් මේ අහන්නේ
ඇට කුඩුවෙලයි ඌ මැරෙන්නේ
නයා නෑලූ බොරුවට ඔය පුප්පන්නේ
පුප්පනකොට පෙනේ හොඳට පේන්නේ
දෂ්ඨ කලොත් වැඩි වෙලා නෑ ඉඳින්නේ
ඌට ගහල පොල්ල වරද නොගන්නේ
පොළඟා නම් මග රැකලා ඉඳින්නේ
දැක්ක ගමන් එලවන්නට හදන්නේ
වලිගේ කොටා කියලත් අර කියන්නේ
වල් ඌරට පුදුම බයක් තියෙන්නේ
මෙකී නොකී බොහෝ උරග සිටින්නේ
හැම එකාම දෂ්ඨ නොකර සිටින්නේ
දෂ්ඨ කලත් නිසරු බයක් නොගන්නේ
විසකුරු අය කිහිප දෙනයි සිටින්නේ