October 31, 2011

වෙලාව පැයක් පස්සට ගියා

අද ඉඳලා පැයක් පස්සට ගියා ඔන්න. බය වෙන්න එපා. මේක ලංකාවට අදාළ නැ. නැත්තෙමත් නැ.  

දිවා එළි ශේෂණ කාලය කියන කතාවනේ ඔය. ඒක බලපාන රටවල් තමා මේ නිල් පාටින් තියෙන්නේ. Daylight Saving Time (DST) එහෙම නැත්නම් ගිම්හාන කාලය කියලාත් මේක හඳුන්වනවා. මේක වෙන්නේ වසන්තය කාලයදී මේ රටවල් වලට උදේට ඉර පායන්න පරක්කු වෙනවා වගේම රැ වෙනකම්ම ඉර පායලා තියෙන හින්දා මෙයාලා හවසින් වැඩි වෙලාවක් වැඩ කරන්න යොදා ගන්න හින්දා. උදේ වැඩියෙන් පැයක් නිදියාගන්න පුලුවන්. ඒත් රැ තව පැයක් වැඩියෙන් වැඩ කරන්න වෙනවා. ඒකට නම් ආසා නැ. ඒ උනාට උදේ හම්බ වෙන අමතර නිදි පැයට නම් ආසයි. ඉතින් මෙහෙම අඩු කරපු පැය ආයෙත් සරත් කාලයත් එක්ක වැඩි කරනවා. මේක 1895 ඉඳලා තමා පටන් අරගෙන තියෙන්නේ. මේක බලපාන රටවල් වෙලාව ස්වයංක්‍රීයව වෙනස් වෙනවා. මේකේ අපූරු සිද්ධියක් තමා කෝච්චි බස් වල ගමනාගමනය.

ඔයාලා දන්නවාද කෝච්චි පැයක් නවත්තාගෙන ඉන්නවා වෙලාව එනකල්. මරු නේද? ඒත් මං හිතුවේ පැයක් වැඩි කරනකොට මුන් කොහොමද දන්නැ ඒක අල්ලන්නේ. ඉගිලිලා යනවද දන්නේ නැ.... තව සීන් එකක් තමා ඉස්පිරිතාලේ වැඩ. ලෙඩෙක් ඉසිපිරිතාලේට යනවා රැ 11.59 ට. මේකා තව විනාඩි 10කින් මැරුනොත් එහෙම වෙන්නේ මෙහෙම.

11.09 - මරණයට පත් වීම....
11.59 - ඇතුල් වීම හා බේත් ගැනීම


ඒ කියන්නේ මේකා මැරිලත් බේත් අරගෙන... හා හා... මාර සීන්ස් වෙන්න පුලුවන් නේද?

ඔය කොහොම කිව්වත් කාටවත් වෙලාව නවත්වන්න නම් බැ. වෙලාව අවුරුදු ගානක් පස්සට ගත්තත් ඕක හරියන්නේ නැ. ඒක තේරුම් අරන් ඉන්න එක නම් වැදගත්....


.

October 18, 2011

බැඳලා අවුරුදු 4යි

අදට (ඔක්තෝම්බර් 18ට) අපි කසාද බැඳලා අවුරුදු 4ක් වෙනවා. හප්පේ කාලය යන වේගය. පහු ගිය හැම සංවත්සරයක්ම පොඩියට හරි සමරන්න අපි දෙන්නා අමතක කලේ නැ. ඒත් මේ අවුරුද්දේ අපි දෙන්නා දෙතැනකනේ. ඉතින් අපි දෙන්නට වෙනදා වගේ එකට ඉඳගෙන මොනවාහරි කාලා පොඩි සින්දුවක් එහෙම කියලා පොඩ්ඩක් නටලා සමරන්න බැරි වෙනවනේ. මේ සංවත්සරේ අපි දෙන්නාට අමතරව තවත් චන්ඩියෙකුත් ඉන්නවනේ. ඉතින් මේක විශේෂ එකක්ම තමා. ආපු ගමන් සමරමු. තව සති දෙකයිනේ....
 
චන්ඩි බන්ඩියත් එක්ක
පොඩ්ඩක් හුරතල් වෙලා
ඔයාගේ අතින් හදපු
සුපුරුදු තේ එකත් රැගෙන
අපේ සඳළු තලේට වෙලා
අහසේ පායලා තියෙන
තරු කැට ගනින්න
හිමින් හිමින් හොරෙන් හොරෙන්
කළුවරේම
එහා මෙහා ගත වෙලනා
මද නලට හොරා
ඔයාගේ සිනිඳු දෙනෙත්
සිප ගන්න දෙතොල්
රස විඳින්න
සරසවියේ ගෙවුනු සුන්දර
මතකයන් එකතු කරමින්
පෙලින් පෙලිට ගලපා
සුන්දර කතා කියමින්
ඉන්නාවිට බඳවටේ
අත දමා තදින් වෙලාගන්න
අතීතයේ ආවර්ජනාවන්
තුළින් අනාවකට
පියමන් තනන්න
අද බැරි උනත් හෙටක්
තියේවී
රෝස ඇහිරූ
මල්තුහින ඉහිරුනු...


ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් ඉන්නම් සිතට ලංවී

October 16, 2011

ලෝඩ්හිත්තා Lordehytta

ලෝඩ්හිත්තා යනු නෝර්වේවල පිහිටා ඇති ගලෙන් සාදන ලද කුඩා ගෙයකි. ලෝඩ්හිත්තා යන්න ලෝඩ්ගේ කැබින් එනම් රදළයාගේ නිවස යන තේරුම් දේ. මේවා කොටේජ් එසේ නැත්නම් කැබින් නමින් හඳුන්වයි. මෙම කුඩා නිවස සාදා ඇත්තේ ක්‍රි.ව. 1880 දීය. මේ සඳහා ජෝන් ගර්වත් (lord John Garvagh) නැමැති රදළයා මූලිකව කටයුතු කල අතර හොවට් (Hovet) නැමැති ප්‍රදේශයෙන් පැමිණි ලාර්ස් ලෙයින් (Lars Lein) නැමැති අයෙකුගේද සහාය ලැබී ඇත. ලෝඩ්හිත්තා පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1620ක් පමණ උසකිනි. මෙම ස්ථානයට ගමන කල හැක්කේ පා ගමනින් පමණකි. ඒ සඳහා ද හව්ගස්ටොල් (Haugastøl) සිට හෝ රගෙස්ටීන් (Raggstein) මිටියාවත ඔස්සේ පැය 3ක පමණ කාලයක් ගත වේ.

ලාර්ස් ලෙයින් ලුහුබැඳ යාම් හා උගුල් ඇටවීමේ ක්‍රියාවන් ප්‍රගුණ කල ඉතා දක්ෂ කුසලතා ඇති දඩයම් කරුවෙක් විය. ජෝන් ගර්වත් රදළයා තමන්ගේ පළමු දඩයම් ගමනේදී මොහුව මුණ ගැසී ඇත. එම අවස්ථාවේදී ජෝන්ට මුවකු අල්ලා ගැනීමට ඔහු උදව් කර ඇත. ඒ හා ගොඩ නැගුණු සම්බන්දධය ඔස්සේ ඔවුන් දෙදෙනා මෙම කුඩා නිවස තැනීම අරඹන ලදී. පසුව ලාර්ස් ලෙයින් බොහෝ කාලයක් මෙම ගල් නිවසේ ජීවත් වී ඇත. කෙසේ නමුත් කාලයාගේ ඇවැමෙන් මෙය ජරාජීර්ණ වෙමින් තිබිණ. 1962 දී සහ 1990 දී මෙය ප්‍රතිසංස්කරණය කර පොදු ජනයා වෙත ප්‍රධානය කර ඇත. එම ගේ තුළ ඇති සටහන් පොතේ තමා පැමිණි බව සටහන් කිරීමට මෙහි පැමිණෙන කිසිවෙක් තවමත් අමතක නොකරයි.

ලෝඩ්හිත්තා පිහිටා තිබෙන ආකරාය අනුව එහි සිට බොහෝ ඈත සිට එන්නෙකු උවත් ඉතා පහසුවෙන් දැකිය හැකිය. උතුරු පෙදෙසකින් ඇත්තේ මහා ප්‍රපාතයකි. එම පෙදෙසින් නැගීම හුදෙක්ම මහත් ආයාස දෙන්නකි. එනමුදු එය මනස්කාන්ත දසුනකි. ඈතින් පෙනෙන මිටියාවතත් නිල් දිය පිරුණු විල් කිහිපයක් එම දසුන වඩ වඩාත් දෙනෙත් පිනවන්නේය. මෙතරම් උසක ඇති මෙම කඳු මුදුනේද මරනම් විලක් වන්නේය. සිසිරයේ එක් වන හිම දියවීමෙන් පිරෙන මෙම විලේ ජලය ඉතා පිරිසිදු වෙයි. කඳු මුදුනට වන්නකුට මෙය අමෘතය මෙන් දැනෙන්නේ පිපාසය නිවීමට පිරිසිදු ජලය තරම් තවත් දෙයක් නොවන බැවින්ය.

අද වන විට නෝර්වේ ගවේෂකයන්ගේ සංගමය විසින් ගමන් මග රතු පැහැති කැපිටල් ටී (T) අකුරකින් සටහන් කරමින් දක්වා තිබේ. වස්සාන කාලයේදී මේවා බොහෝ පැහැදිළිව දක්නට තිබුණද සිසිරයත් සමග යම් යම් සලකුණු හිමෙන් වැසී යනු ඇත. එම නිසා ඔවුන් ඒවා ගල් කිහිපයක් එක් කර තැනූ විශේෂ ගල් ආකෘතියක රඳවා සලකුණු යොදා ඇත. මෙසේ උසවන ලද ගල් ආරුක්කුද තද හිම සහිත කාලයේදී යට වනු ඇත. ඒ හේතුවෙන් විශේෂයෙන් තනන ලද කම්බි කූරක හැඩැති කුලුණු අතරන් පතර තනා ඇති අතර ඒවා ආධාරයෙන් කඳු මුදුනට ළඟා විය හැකිය. කඳු පාමුල සිට කිලෝමීටර් 10ක් පමණ ඈතින් ඇති කඳු මුදුණට ගමන් අරඹන කෙනෙකුට අතර මගදී කුඩා දිය පහර 3ක් පසු කිරීමට සිදු වේ. වැසි කාලවලදී මෙම ජල පහර හරහා යැම අසීරු වේ. එමෙන්ම කුඩා කුඩා කඳු ගැට කිහිපයක්ද තරණය කිරීමට සිදු වේ. නගිමින් බහිමින් දිවෙන මෙම මාර්ගය ගවේෂකයකුගේ ගවේෂණ අත්දැකීම ඉතා ඉහලින් විඳීමට කදිම අවස්ථාවක් තනා දෙන්නේ නිතැතිනි. අවසාන කඳු ගැටියට ප්‍රථම කුඩා නිම්නයක් දිගේ ගමන් කිරීමට සිදු වේ. අවසන කඳු ගැටය ඉතා අසීරු එකක් වේ. වස්සානයේදී ගල් එකිනෙක අල්ලා ගනිමින් ගමන් ගත්තද සිසිරයේ පිරෙන හිම නිසා බොහෝ අනතුරු සහිත ස්වරූයක් ගන්නේය. කෙසේ වෙතත් මෙතරම් දුරක් ගෙවා ආ ගවේෂකයා කඳු මුදුණට යැම කිසිවිටෙකත් අතනොහරින්නේය. එහි සැබැ සුන්දරත්වය විඳින්නට අමතක නොකරන්නේය.

මෙහි ඇති කුඩා ගෙය කාමර දෙකකින් යුක්ත වේ. වහලය තනා ඇත්තේ දර භාවිතයෙන් වන අතර බිත්ති සියල්ල කළු ගලෙන් නිමවා ඇත. පළමු කාමරය බඩු ගබඩා කිරීමට යොදා ගන්නා එකකි. දර, ආහාර මෙන්ම යම් යම් උපකරණද එහි තිබෙනු දක්නට හැකිය. දෙවන කාමරය තුළ කුඩා මේසයක් පුටු 2ක් හා කුඩා උදුනක්ද දැකිය හැකිය. බිත්තියට අලලා තනන ලද කුඩා රාක්ක කිහිපයක හිස් උනු කෝප්පක් කිහිපක්ද ගිණිකූරු කිහියක්ද දැකිය හැකිය. මේවා බොහෝ විය මෙතැනට පැමිණෙන්නන් දමා ගිය ඒවා ලෙස සැලකිය හැකිය. සිසිරයේ එන අයෙකුට කිසිම අපහසුවකින් තොරව සීතල පහවන සේ ගිණි මැලයක් සාදා වතුර රත්කර ගැනිමේ පහසුව තිබෙන්නේය.

ඒ කෙසේ වෙතත් ගවේෂකයකුට මෙය ඉතා මනරම් අත්දැක්කිම් සමුදායක් ලාබ ගත හැකි චාරිකාවක් වේ.

October 6, 2011

නොමියෙන කාන්සාවක්

සුමුදු වලාවක එතෙන්න
තරම් හිත් නොවුනත්
දෙනෙත් අතරට
තදකර මිරිකා
කඳුළු පොදකින්
තෙමන්න තරම්
හිත් පොපියන
බොරවුනු හැන්දෑවක
හීන් කෙඳිරිය එක්ක
මුසුවුනු සීතල පිනි පොද
ගත වෙලා
කවුළු
අතරින් රිංගා
ලැගුම් අරගෙන
නොමියෙන කාන්සාවක්
එක් කරගෙනම...


.