January 19, 2013

යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට

යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට 
සිතුවිලි පවුරට කවුලු තියන්නට 
ගලනා සිතිවිලි හද පුරවා 
සෙනේ වඩන්නෙමි සසර පුරා...  
සෙනේ වඩන්නෙමි සසර පුරා... 


මිහිකතරට වැටි සිහින් කඳුල ඔබ 
තෙත් කෙරුවා අද වියරු වැටුනු සිත 
කැඩී බිඳී ගිය පවුරු සදා 
සනසාලූවා මහද පොපියවා... 
සනසාලූවා මහද පොපියවා... 

යුග යුග බැඳි පෙම් .... 

අමාවකට ආ තරු කැකුලයි නුඹ 
පාලු අහස විකසිත කරමින් 
දිවියේ සරදම් ඉවසා සිත්ගෙන 
හද පුරවමි මා සසර පුරා... 
හද පුරවමි මා සසර පුරා...

යුග යුග බැඳි පෙම් .... 


ආදරයෙන් හා ජීවිතයෙන් ලද බොහෝ ගැහැට කම් කටොළු නිසා හෙම්බත්ව අද දිනය සරිකරනා එක අහිංසක ලඳකි. ඇගේ දිවියේ අරුණලු පුබුදන්නට ඔහු ඇයට ඉන්ද්‍රකීලම විය. යුග යුග බැඳි ආ සසර බැඳීමක්දෝ ඇයට දහස් වතාවක් සිතෙන්න්යට ඇත. ඇගෙ සිතිවිලිවලට කපොලු තබමින් ගලා ආ සිතිවිලි ගඟ පත් ඉරුවල බොඳ කරන්නට සිතෙන්නට ඇත. වියරු වැටී තිබුණු ඇගෙ දරදඬු සිත් මඩල ඔහුගේ කඳුලින් සුවපත් වන්නට ඇත. අමාවකට තරු නැති දා ආකාසයට, පාලු මකන්නට අලුතෙන් පායා ආ තරු කැකුලක්ම විය. එයට බැඳි පෙම මෙසේ අකුරුවන්නට ඇත.


January 4, 2013

ලිංගික අධ්‍යාපනය ගැන ළමුන් දැනුවත් කල යුතුය




 
මෙම විඩීයෝ පටය අප සමාජයට ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේය. අවුරුදු 6ත් 8ත් අතර කුඩා දරුවන් කිහිපදෙනෙක් සමග එක් වී කරන්නාවූ මෙම සංවාදය ලිංගිකත්වය යන්න කුමක්ද යන්න හා අපයෝජනය යන්න කුමක්ද යන්න ඉතා සරල බසින් විස්තර කෙරේ. මෙහි ප්‍රධාන කරුණු 3ක් ගැන සඳහන් වේ. 

1. ශරීරයේ කිසිවෙක් ස්පර්ශ නොකල යුතු ස්ථාන 3ක් වේ. එනම් පපුව, තට්ටම් හා  කකුල් අතර ප්‍රදේශය වේ. මේ කාරණාව ඔබේ දරුවාටත් තේරුම් කර දෙන්න

2. කිසිවෙක් මෙම ප්‍රදේශයන් ස්පර්ශ කලේ නම් වහාම කෑ ගහන්න. (මොකද කරන්නේ... එපා... ආදී වශයෙන් ඒ බව දරුවාට කියා දෙන්න)

3. වහාම ඔබේ විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙත දැනුම් දෙන්න. විශ්වාසවන්ත පුද්ගලයන් කවුරුද කියා අඳුන්වා දෙන්න. මව, පියා, ඔවුන් නොමැති අවස්ථාවේදී ඊළඟට විශ්වාසවන්ත පුද්ගලයා ආදී වශයෙන් කියා දෙන්න.

මෙම පාඩම ඔබේ දරුවා සමාජයේ සිදු වන අපයෝජනයන්ගෙන් බේරා ගනී. අදම මෙය අරඹන්න. වඩා වැඩදායි දරුවන් බිහි කරන්නට ඔබේ දරුවාට මේ පාඩම් කියාදී ඔබත් සහය දක්වන්න.