August 23, 2013

මූණු පොතයි අසනීපවීමයි


මූණු පොතයි අසනීපවීමයි යන දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්දැයි කිසිවෙක් ඔබය කියන්නට පිළිවන. මෙය ඒ සබැදෙන කෙටි ලිපියකි.

අනෝමා බලන්නකෝ. මගේ පොඩි එකාගේ පින්තූර ටික මම ෆේස් බුක් එකට දැම්මා. ඔන්න ලින්ක් එක. ඔයත් බලන්නකෝ...
ෂා.. මාර ලස්සනයි අනේ.. හරිම ස්වීට්...
කෝ බලන්න, කෝ බලන්න අනේ තුෂාරී මටත් ලින්ක් එක එවන්නකෝ...
ආ ඉන්න. මං එවන්නම්...
අනේ.. හරී ෂෝක්.. තාත්තා වගේමයි.. බලන්නකෝ පුංචි නහය... ෂා....
මං මේක යවන්නම්කෝ මගේ හස්බන්ඩ්ටත්....

ඔන්න ඉතින් ඔය මාස 3ක්වත් නැති පොඩි එකාව මූණු පොතට රිංගවනවා. මුළු ඔෆීසියේම එවුන්ට ලින්ක් එකත් දෙනවා. මේල් ලිස්ට් එකේ ඉන්න හැම එකාටමත් යවනවා. ඒ මදිවට පබ්ලික් පාරකුත් දානවා. ඕනෑ එකයි නැති එකයි හැම එකාම හූල්ල හූල්ල පින්තූර බලන්න ගන්නවා. සමහර එවුන් ඉතින් ඇස්වලින්
විතරක් නෙමෙයි වෙන වෙන ඒවයිනුත් පින්තූර බලනවා. දවස් දෙක තුනකට පස්සේ ඔන්න ආයෙත් තුෂාරි ඔෆිස් එනවා මෙහෙම කියාගෙන...

අනේ අනෝමා බලන්නකෝ අපේ පොඩ්ඩට සනීප නෑනේ... කිරි බොන්නෙත් නෑ.
ආ.. එහෙමද? ඒ මොකද එක පාරම..
අනේ මන්දා...
අනෝමා ඔය එක එකාගේ ඇස්වහ වැදිලා වෙන්න ඇති අනේ.. ඔයා ෆේස් බුක් එකෙත් දැම්මනේ.. හැම එකාම හූල්ල හූල්ල බලන්න ඇති...
ආ... ඇත්ත තමයි... මං වගේ මෝඩියෙක්... අදම ඔව්වා අයින් කරන්න ඕනෑ..


ඔන්න ඉතින් මූණු පොතට බනින්න ගන්නවා.. හොය හොය මකන්න ගන්නවා. හරිම කරදරයක් කර ගන්නවා. මං දන්නේ නෑ ළමයා අසනීප උනේ මූණු පොතේ දාපු හින්දද කියලා. ඒත් මමත් ඒක නම් පොඩ්ඩක් විතර අත්විදලා තියෙනවා. කොල්ලගේ පින්තූරයක් මූණු පොතේ දැම්මා නම් පහුවදාට බඩු. අඩුම ගානේ හෙම්බිරිස්සාවක්වත් හැදිලා ඇති. මේ දෙක අතර සම්බන්න්දතාවය අන්න්‍යෝය වශයෙන් බහිෂ්කරද කියලා මම දන්නේ නෑ. ඒත් මූණු පොතට පොඩි එවුන්ගේ පින්තූර දැම්ම ගමන් වැඩේ පත්තු වෙනවා කියලා නම මටත් හිතෙනවා. ඉතින් මේක බොරුවක් මිත්‍යාවක් වෙන්න පුලුවන්. ඒත් එහෙම වුනත් ඒ බොරුව පිළිඅරගෙන පින්තූර දාන එක නැවැත්තුවා අඩුම ගානේ මාස 6ක්වත් වෙනකම්. මම විතරක් නෙමෙයි තවත් කිහිප දෙනෙක්ම මේ කතාව කියපු හින්දා මට හිතුනා අකුරු කරලා බලන්න. සමහරු මේකට බනින්නත් පුලුවන්. ඒත් මම නම් හිතන්නේ මූණු පොතයි (පොඩි එවුන්) අසනීපවීමයි අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලායි.