ඔන්න ඉතින් මේ මාසේ අපිට ටිකක් වැදගත් එකක්. මොකද දන්නවද? මාස පහේ විනිවිද බැලීම (පරිලෝකනය - ස්කෑන් එක) තිබුනනේ. ඔයාලා දන්නවද මේ ස්කෑන් එකේ වැදගත්කම?
ම්... ම්... දන්නේ නෑ නේද?
මම දන්නේත් නෑනේ...
අපේ අළුත් ගෙදර වැඩ හින්දා මට බිරිඳ බලන්න යන්න වෙන්නේ සති අන්තයේ විතරයි. අනික රස්සාව කරන්නත් ඕනෑනේ. ඉතින් ඔන්න ඔහොම මම තනියම කොලොම්තොටේ ඉන්නකොට බිරීඳ එයාගේ අම්මත් එක්ක ගියා අපේ දොස්තර මහත්තයා හමබ වෙන්න. මමත් හරිම ආසාවෙන් හිටියේ මේ ගමන යන්න. අනික බිරිඳත් හරිම ආසයි මගේ අතේ එල්ලිලා එහෙ මෙහ ඇවිදින්න. ඉතින් අපි සැලසුම් කරගෙන හිටියත් ඒකට මේ ගෙවල් හැදිල්ල ඇණයක් උනානේ.

මේ.... මම දැන් යන්න හදන්නේ... ඔයා වැඩියම කැමති කාටද?
මම ඕන කෙනෙකුට කැමතියි ළමයෝ... ඔයාට කාවද ඕනෑ...
ම්..ම්..ම්.. කෙල්ලේක් උනොත් මට ලේසියි, කොල්ලෙකුත් හොඳයි ඉතින්... අනේ මන්දා... ඉතින් කියන්නකෝ ඔයා කැමති කාටද? ඉක්මනට අනේ... කියන්න...කෝ.... පරක්කු වෙනවා
කියමින් ගැහැනු ගැට දමන්නට විය. ඇගේ මෙම කෝල කමට මා කවදත් ආදරේය. බොරුවට පරක්කු වෙනවා, අරහේ යන්න තියෙනවා, පස්සේ කියන්නම් ආදී නොයෙකුත් ප්‍රයෝගයන් මා ඇගේ හද කුටි සිර කර අගුලු දා යතුර මහ මුහුදට විසි කිරීමට තරම්ය....
ම්...ම්....ම්... කවුරු උනත් කමක් නෑ අනේ.. ඔය මගේ පැටියෙක්නේ... ඔයා ගිහින්ම කියන්නකෝ...
කියමින් මම පැන යන්නට උත්සාහ කලෙමි. මෙවන් අවස්ථාවකදී ඇගේ මුහුණ බොරු තරහකින් පිරී යන්නේය. ගස්සාගෙන මගේ ලඟින් ඉවතට යන්නේ "මං තරහයි.. ආයේ කතා කරන්න එපා... " යැයි නොකියා කියාය. මා ළඟ නැතත් මට ඇගේ මුහුණ සිහියට එන්නට විය.
මං යනවා.. මට පරක්කු වෙනවා... බුදු සරණයි කියමින් ඇය දුරකතනය විසන්ධි කලාය.
කෙසේ හෝ තව හෝරා කිහිපයකින් මගේ සිතේ ඇඳි සිතුවම සැබෑ වන්නේය. මම ඇගේ දුරකතන ඇමතුම එනතුරා ඇඟිලි ගනිමින් සිටියෙමි. මෙන්න දවල් 12ට විතර එක පාරම මා බලාපොරොත්තුව සිටි ඇමතුම ආවේය.
අනේ... ඔයා කැමති කෙනා නෙමයි නේ.. මම කැමති කෙනා ඉන්නේ.. හූ හූ...
කියමින් ඇය මට ඔච්චම් කරන්නට විය.
ඉතින් ඔයා කොහොමද දන්නේ මම කැමති කාටද කියලා...
මම ඔයා ගැන දන්නේ නැද්ද අනේ... දැන් අවුරුදු 6 ක් ගිහිල්ලත් ඉවරනේ.. හී.. හී...
අනේ ඉතින් කියන්නකෝ මොකද ඩොකා කිව්වේ...?
කියන්න බෑ... මොනවද දෙන්නේ මට...
ම්ම්ම්... හාදු දෙන්නම් ...
හරි එහෙනම් 100ක් 1000ක් ඕනෑ... හරිද ඔන්න බෑ කියන්න බෑ... (මේ හාදු 100ක් 1000ක් කතාවට අතීතයක් ඇත.)
හරි හරී....
ම්ම්ම්....
කියා යමක් ඇය පැවසුවාය. මට ඉහේ මලක් පිපුනා වගේය. මට කියන්නත් පොඩ්ඩක් ලැජ්ජයි වගේ. මම පොඩි පගේ නැටුමකුත් දැම්මා කාමරේට වෙලා. ඒ තරම්ම සතුටක් දැනෙන්නට විය.
නමුත් මෙම පරිලෝකනයේදී කියැවෙන යම් යම් දේ වෙනස් විය හැකි බැවින් පුතකුද දුවකුද යන්න අන් අයට දැන්ම කිමෙන් වලකින මෙන් බිරිඳගේ අම්මා ඇයට කියා ඇත. එම අවවාද මම අද සයිබර් අවකාශයේදීද රැකිය යුතු නිසා නොකියා සිටින්නෙමි. නමුත් ඉඟි කිහිපයක් දෙන්නෙමි.
: අපේ අම්මා එකදාස් ගනනට සතුටුය. නැන්දම්මාද එසේය. වැඩියෙන්ම සතුටු වන්නට සිටියේ අපේ කිරි අම්මාය.
ආ කියන්න අමතක උනා. ජනවාරි 6 වැනිදා අපේ බබා පළවෙනි වතාවට ඇතුලේ ඉන්නවා කියලා බිරිඳට පා පහරක් දීලා කියලා තිබුනනේ. දවසක් මටත් දැනුනා එයාගේ දැඟිලිල්ල... ආසාවේ බෑ....