October 13, 2014

දාක්ෂිණ්‍යය - පිං අතේ වැඩක්

ඔන්න දවසක් අපේ කස්ටිය සෙට් වෙලා ඉන්නකොට හිතුනා කාලෙකින් අපි එකතුවෙලා චැරිටි වැඩක් ඒ කියන්නේ දාක්ෂිණ්‍යය වැඩක් එහෙම නැත්නම් සරලව කිව්වොත් පිං අතේ වැඩක් කරමු කියලා. කට්ටියම වැඩේට කැමති හින්දා ඔන්න තුන්-කුළුඳුල් කොමිටියක් ඒ කියන්නේ තුන්දෙනෙක්ගේ කණ්ඩායමක් පත් කර ගත්තා කියමුකෝ. දැන් තියෙන්නේ පොට් එකක් හොයන එකයි. ඔන්න ඔක්කොලටම කිව්වා තමන් දන්න කියන තැන් තියෙනවනම් නම් ගම් දාලා එවන්ඩ කියලා.

අම්මෝ...
සූ ගාලා 3ක් විතර යෝජනා ආවා. අර තුන් දෙනත් තව තැන් ටිකක් හොයාගෙන තිබ්බා. ඔය තැන් ඔක්කොම ලැයිස්තු ගත කරලා අර තුන්දෙනා ගූගල් කරන්න ඒ කියන්නේ තොරතුරු හොයන්න ගත්තා.

හපොයි...
ඒ කෙරුවාවත් එසේ මෙසේ වැඩක් එහෙම නෙමෙයි ඔන්න. සමහර දුරකතන අංක වැඩ නෑ. වැඩ කරන සමහර අංක පිළිතුරු දෙන්නේ නෑ. පිළිතුරු දෙන අංක වලින් හරි දෙයක් කියන්නේ නෑ.. දැන් බිසීලු. පස්සේ කතා කරන්නලු. ජරමර ගොඩයි... ඉතින් අර තුන්දෙනා කොහොමහරි අර ලැයිස්තුවේ තියෙන තැන් වලට කතා කරලා තොරතුරු හොයා ගත්තා. අම්මෝ දැන් කාලේ පිං අතේ වැඩක් කරන එකත් හරිම කොමර්ෂල් වෙලා වගේ කියලා හැඟීමකුත් යන්තමින් හරි ආව නැතුවාම නෙමෙයි ඔන්න. ඉස්සර නං ඉතින් මොනවද මේ හිතුනා මේ ගියා මේ කලා. ආයේ ගැන ගැන ඉන්න දෙයක් නෑ. ඒක හිත් දරාගෙන වැඩේ කළා. එච්චරයි. ඒකට දැන් කාලේ...

ඉතින් ඔන්න අර කොමිටිය තීරණය කලා අවසාන තැන් තුනක්. ඒක කරනකොටත් ඉතින් ගොඩාක් දේවල් හිතන්න උනා. යන එන දුර ප්‍රමාණය, ඒ ඒ තැන්වල තිබුණ උවමනාව, ඉන්න පුද්ගලයින් ප්‍රමාණය සහ වර්ගය ඒ කිව්වේ පොඩි ළමයිද, වයසක අයද, ආබාධිත අයද යන වග, නිතර දාන ලැබෙන තැන්ද නැතිද යන්න වගේ බොහෝ කරුණු කාරණා සලකලා බලලා ඔන්න තැන් තුනක් අවසන් ලැයිස්තුවට එක් කලා. මේ අතරේම අර තුන්දෙනා ඒ ඒ තැන් තුනටම උවමනායැයි කියලා දුන්න ලැයිස්තුත් ඉල්ලා ගත්තා කලා. ඊට පස්සේ ආයෙත් අපි ඔක්කොමලා එකතුවෙලා යන්නේ කොතැනටද කියලා අවසන් තීරණයක් ගත්තා. ගොඩාක් අය කැමති උනේ පොඩි ළමයි ඉන්න තැනකට යන්න. හැමෝම වගේ කැමති උනේ පොඩි එවුන්ට තෑගි දිලා උන්ගේ මූණේ තියෙන අහිංසක හිනාව බලන්න.. ඉතින් උන්න අන්තිමට තීරණය උනේ මෙන්න මෙතැන්ට යන්න.

http://www.gracepererahome.lk/sir-senerath-gunawardene-child-care-centre

මේක පුදුම ලෝකයක්නේ. සමහරු කැමති නෑනේ පිං බෙදා ගන්න. අපිට උවමනා උනා පොඩි එවුන්ට රෑට කෑමක් දීලම තෑගි එහෙම දෙන්න. ඉතින් අපි බලුවා දවසක් ඉල්ලා ගන්න. වැඩේ කියන්නේ සමහරු කැමති නෑ අපිත් එක්ක එකට සෙට් වෙලා දානේ දෙන්න. එයාලට ඕනෑ තනියම ඒක කරන්න. අනේ මංදා ඇයිද කියලා. සමහරු නම් ඒකට කැමතියි. ඒත් ඒ දවස් අපිට බෑ වෙනත් වෙනත් වැඩ හින්දා. ඉස්සරලාම කලේ අපේ දවස තෝරා ගන්න එක. ඉතින් ඒකට දවසක් ඕනෑ හින්දා පොඩි ඡන්දයක් තිබ්බා සතියේ දවස් 5 දාලා. හොර ඡන්ද නැති හින්දා ලේසියෙන්ම අපිට දිනේ සෙට් කර ගන්න පුලුවන් උනා. අන්තිමට ඔක්තෝම්බර් 9 වෙනිදා විදියට දවස වෙන් කෙරුණා. ඉතින් ඔන්න ෆන් එක පටන් ගත්තා.


මුදල් ඇමති විදියට අපේ කටසැර පදමක්කා වැඩ බාර ගත්තා. ඉතින් එයා ළඟට ගියොත් වෙන වැඩකටත් අහන්නේ සල්ලි දෙන්නද ආවේ කියලා. කන්දොස්කිරියාවේ බෑ. හික්ස්... හැබැයි කියන්න අපරාදේ වැඩේ නම් ඉතින් කිරි ගහට ඇන්න වගේ තමයි. පදමක්කගේ වාසනාවට ද කරදරේට ද අපේ උන්ගේ දානමය සිතිවිල්ලටද මංදා සිරි සිරි ගාලා සල්ලලි එකතු වෙන්න ගත්තා. නදීකක්කා එයාගානේ ඉස්තිරික්කයක් දෙන්නම් කිව්වා. අනේ වාසනාවන්. අපි ගිහිල්ලා එයාලට උවමනා දේවල් මොනවද කියලා ලැයිස්තුවක් අරගෙන ආවා.

එතැන ඉස්කෝලේ යන ළමයි 25ක් හිටියා. අවුරුදු 6 ඉඳලා අවුරුදු 17 වෙනකල් පිරිමි ළමයි. අපෙන් ඉල්ලුවේ සෙරප්පු අරගෙන දෙන්න පුළුවන්ද කියලයි. එයාලට තියෙන්නේ එක ඉස්තිරික්කයයිලු. අනේ පව්... හැබැයි එතැනට කතා කලාම හොඳ ලැයිස්තුවක් දුන්නා මේකෙන් පුලුවන් දේවල් අරගෙන දෙන්න කියලා. කිසිම බල කිරීමක් කලේ නෑ. කමිස කොලර් සයිසස්, සෙරෙප්පු සයිසස්, පොත් ප්‍රමාණ... ඔය වගේ...

ඉතින් පද්මක්කා මුදල් වැඩේ කරන ගමන් මල්ලිකක්කා අනිත් පැත්තෙන් සෙරෙප්පු වැඩේ ගැන බැලුවා. එයාට තියෙනවා ලොකු ලොකු කනෙක්ෂන්ස්.. ලාබෙට වැඩේ කරලා දුන්නා එක පයින්. මධුමතියත් ඉතින් අපේ බැසයන තාරකාවක්නේ...  මතකනේ මෙයාව අර ඔබ යන්නේ බහුවචන කතාව.. ඉතින් මෙයාගෙත් හරි කනෙක්ෂන්ස්.. ඉතින් අපි කතා කර ගත්ත විදියට ළමයි කැමතියි කිව්වා කොත්තු කන්න. එ හින්දා අපි හිතුවා කොත්තු දෙන්න. මධුමතියගේ කනෙක්ෂන් හරහා මල්ලිකක්කා ඒ ගැන හොයා බලලා වැඩේ ගාණට සෙට් කලා. ඉතින් සල්ලි ඔක්කොම එකතු උනාට පස්සේ පොඩි බජෙට් එකක හදලා බඩු ගන්න ගත්තා. චානකයියයි පන්ඩුකයියයි අපේ ප්‍රවාහණ ඇමති කමට සෙට් උනා. කොටුව පීරලා සෙල්ලම් බඩු ගත්තා.

ක්‍රිකට් පිති 2යි
ටෙනිස් බෝල ටින් 2යි
ස්ටම්ප් කූරු 6යි
කැරම් බෝඩ් එකයි ඉත්තො සෙට් එකයි
දාම් බෝඩ් එකයි ඉත්තො සෙට් එකයි
කාඩ් පැක්, ඌනෝ පැක්
බෝඩ් ගේම්ස් ටිකක්
ටිං කැඩිල්ල නව උපකරණ සෙට් එකක්. (අපේ කාලේ නම් ඉතින් ටිං ටික තිබ්බා දුන්නා බෝලෙන්.)
පොඩි සෙල්ලම් කාර්
වොලි බෝලයයි නෙට් එකයි (මේ හා බැඳි නිලූකක්කගේ කතා ගොඩයි)
බැට්මිටන් රැකට් 4යි නෙට් එකයි
බේස් බෝල බැට්
තව පොඩි පොඩි සෙල්ලම් බඩු ටිකකුයි අරගෙන තිබ්බා. පෙට්ටි ගොඩාක් පිරෙන්න බඩු.

පිටු 120 CR පොත් 50ක්
පෑන් පෙට්ටි, පැන්සල් පෙට්ටි
කවකටු පෙට්ටි
පාට පැන්සල් පෙට්ටි
වොටර් කලර්ස් පෙට්ටි, පින්සල්
මේ වගේ ගොඩාක් ඉස්කෝලේ වැඩට උවමනා කරන දේවලුත් පෙට්ටි පිරෙන්න තිබ්බා.


සෙරෙප්පු කුට්ටම් 25යි සුදු අත් කොට කමිස 25යි ගන්න අමතක කලේ නෑ අපි. ඒ එක්කම කුඩ 12කුත් අරගෙන ගියා. හාල් සීනි වලින් නම් උන්ට කිසි ගතියක් නෑ ඒවා ගෙනිච්චට. ගෙනිච්ච බඩු මෙච්චරයි කියලා හරියටම ලැයිස්තු නැති උනත් පොඩි එවුන්ගේ මූණු පිරෙන්න බඩු තිබ්බා. අපි ගිහිල්ලා පොඩි ක්‍රිකට් මැච් එකකුතු ගැහුවා. ඒක නම් උඩිම්ම පරාදයි. පොඩි එවුන් ආසාවෙන් දින්නා. අපි දිනන්න දුන්නා ඇත්තටම. දිනන්න බැරිකම නෙමෙයි ඔන්න. එක පැත්තක වොලි බෝල් ගහනවා. තව පැත්තක බැට්මිටන් ගහනවා. මේ අස්සේ මහා වැස්සක් වැටුනා. අපි පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා. ඒත් පොඩි එවුන්ට නම් කිසිම ගාණක් නෑ. වැස්ස කොල්ලන්ට තවත් ජොළියක් එකතු කලා. අපිත් ඔය වයසේදී ඔය වගේම වැස්සේ නාලා අම්බානක ගුටි කාල තියෙනවනේ. අනිවාර්යෙන් මුන්ටත් හම්බවෙයි හෙට වෙනකොට. ඒත් ඒ හෙටනේ කියලා පොඩ්ඩෝ ටික ආතල් ගත්තා.  මහා වැස්සේ මහා යුද්දේ...

පස්සේ අපි ගෙන්නපු කොත්තු මාස්ටර් ඉස්සරලාම ආප්ප දාන්න ගත්තා. හැම ළමයටම බිත්තර ආප්ප දෙකයි. ඕනෑ තරම් ආප්පයි. මුලදී පොඩ්ඩෝ ටිකක් අදි මදි කලා එතනට සෙට් වෙන්න. ටික වෙලාවකින් ආප්ප ටික නම් සරස් ගාලා වාෂ්ප උනා.  කොල්ලෝ ටික ආසාවෙන් ඒවා කාලා ගියා කෑම කාමරේට. කොත්තු ටිකත් සෙට් උනාට පස්සේ අපිට පිං දීලා කන්න ගත්තා. කොත්තු කාල ඉවර උනාම අයිස් ක්‍රීම් දුන්නා. අර වැස්සේ නටලා නටලා ඇවිල්ල කිසි ගේමක් නැතුවම අයිස් ක්‍රීම් කෑවා අපි වගේම. හෙට වෙනකොට තියෙයි හොඳට. ඊටත් පස්සේ පටන් ගත්තේ නත්තල් සීයාගේ සීන් එක. ඒ කියන්නේ ඉතුරු තෑගි බෙදන එක.
හප්පා.. ආසාවේ බෑ..
අයියේ මටත් එකක් දෙන්න.. අනේ මටත් එකක් දෙදෙන්න..
කිය කිය පොඩි එවුන් ඉල්ල ඉල්ල තෑගි ගත්තේ.. දුක හිතෙනවා වෙලාවක..අනේ පව් මට මගේ පොඩි එවුන් දෙන්නත් මතක් උනා..

පොඩි එවුන් හැම එකාටම තෑගි දෙන්න පුළුවන් වෙච්ච් එකනම් මාර පිනක්. පුදුම සතුටෙන් තෑගි තුරුළු කරගෙන හිටියේ. ලොකු පොඩි බේදයක් නෑ අපි කවුරුත් කැමතිනේ තෑගි වලට. මෙතැන විශේෂත්වය තමා නන්නාඳුනන කෙනෙක් දෙන තෑග්ග වීම.

ඉතින් ඔය වැඩ ටික ඉවර වෙලා අපි ආපහු එන්න සූදානම් උනා. පොඩි කට්ටිය ඔක්කොමලා දුන්න තෑසි වලට ස්තුති කලා. ආයෙත් එන්න කියලත් කිව්වා. ගොඩාක් රෑ වෙලත් තිබුණ හින්දා ආයෙත් දවසක යන අරමුණ ඇතිව එතැනින් අපි පිටත් උනා


මේ වැඩේ කර ගන්න අපේ ටීමයේ ඔක්කොමලා ගොඩාක් මහන්සි උනා. මං හිතන්නේ ඒක ටීම් එකේ තියෙන ස්පිරිට් එක වෙන්න ඕනෑ. යෝජනාව ගේනාපු වෙලාවේ ඉඳලා අන්තිම මොහොත වෙනකල්ම එකාවගේ එක අරමුණක ඉඳගෙන වැඩේ කර ගෙන යන්න තරම් එකමුතුකම තියෙන බව නම් කියන්න ඕනෑ. මේ අස්සේ පොඩි පොඩි මඩ පාරවල් ටිකකුත් නොගියාම නෙමෙයි පුරුදු විදියට. ඒක වෙන්නෙත් ෆිට් එක වැඩි කමටමයි. මේ ෆිට් එක හැමදා මෙහෙම තියාගන්න පුළුවන් නම් කොච්චර අගනේද?






ප ලි: තම තම නැණ පමණින් කරුණු විමසා කියවීම යහපති.

4 comments:

  1. නියම වැඩක් බිඟුවා. අපිත් හැම අවුරුද්දකම මෙහේ ළමා නිවාසෙකට දානයක් දෙනව.

    කොත්තු බාසෙක් ගෙනල්ල එතනදිම කොත්තු ගහල දුන්න වගේ එකක්නං ඇහුවමද කොහෙද.

    ReplyDelete
  2. එළ වැඩක්.. කොච්චර සන්තෝස වෙන්න ඇතිද බං..

    ReplyDelete
  3. කොත්තු දාන සංකල්පය හඳුන්වා දිමේ පින බොට හිමිවෙනවා.. මේක හොද අදහසක්...

    ReplyDelete
  4. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!