January 1, 2015

රුම්මි


රුම්මි යනු කාඩ් ක්‍රීඩාවකි. මේ සඳහා ජෝකර් සමග කාඩ් කුට්ටම් දෙකක කාඩ් එනම් කාඩ් 108ක් භාවිතා කෙරෙයි. මේ ක්‍රීඩාව සඳහා අවම වශයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු අවශ්‍යය වන අතර වයස් සීමාවකින් තොරව ක්‍රීඩා කල හැකිය. කාඩ්පත් ගලපා කෙරෙන රුම්මි හුදෙක් වාසනාම මතම රඳා පවතින ක්‍රීඩාවක්ම නොවේ. අනෙකුත් බොහෝ කාඩ් ක්‍රීඩා මෙන්ම මෙම ක්‍රීඩාවේදීද කාඩ් සම්මත කාඩ් පිළිවෙල භාවිතා කෙරෙයි. එනම් A, K, Q, J, 10, 9, ,8 7, 6, 5, 4, 3, 2 (A) ලෙසය.  A නොහොත් ආසියා රජුට(K) ආසන්නව හෝ 2ට ආසන්නව භාවිතා කිරීමේ නිදහස ඇත. ජෝකර් කාඩ්පත් ඕනෑම කාඩ්පතක් සඳහා භාවිතා කල හැකිය.


ක්‍රීඩාව අවසානයේ තමා අතැති කාඩ් සියල්ල ඉවත් කර ගැනීමෙන් අවම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ජයග්‍රාහකයා වේ. එම නිසා පළමුව කාඩ්වල අගයයන් සලකා බලමු.

  • ජෝකර් සඳහා ලකුණු 50 බැඟින් ද
  • A සඳහා ලකුණු 15 බැඟින් ද
  • K, Q, J සඳහා ලකුණු 10 බැඟින් ද
  • 10, 9, ,8 7, 6, 5, 4, 3, 2 සඳහා ලකුණු 5 බැඟින් ද ලැබේ. 



මෙම ක්‍රීඩාවට ප්‍රධාන මූලධර්ම රටා දෙකක් වෙයි. පළමු මූලධර්ම රටාව "සීරීස්" නොහොත් ශ්‍රේණිය වේ. ශ්‍රේණියක් සඳහා අවම වශයෙන් එකම වර්ගයේ(කලාබර, ඉස්කෝප්ප, රුවිත හෝ හාරත) කාඩ් පත් 4 ක්වත් අනුපිළිවෙලට තිබිය යුතුයි. උදාහරණ ලෙස (5,4,3,2), (J,10,9,8), (A,K,Q,J), (4,3,2,A) වලංගු ශ්‍රේණි වන අතර (3,2,A,K) හෝ (7,6,5,3) අවලංගු ශ්‍රේණි වේ. නමුත් (7,6,5,3) ශ්‍රේණිය (7,6,5,ජෝකර්) ලෙසින් හෝ (6,5,ජෝකර්,3) ලෙසින් වෙනස් කලේ නම් නැවතත් වලංගු රටාවක් සෑදේ.

(ජෝකර්,ජෝකර්,ජෝකර්,ජෝකර්) යන්නද වලංගු ශ්‍රේණියක් වේ. ශ්‍රේණියක් සෑදීමේදී කාඩ්පත් 4 කට වඩා තිබීම ගැටළුවක් නොවේ. එනම් (9,8,7,6,5,4,3,2) යන්න වලංගු ශ්‍රේණියක් වන අතර මෙය (9,8,7,6) සහ (5,4,3,2) ලෙසින් වලංගු ශ්‍රේණි 2ක් ලෙසින් උවද සකසා ගත හැකි වෙයි.



දෙවන මූලධර්ම රටාව "සෙට්" නොහොත් කට්ටලය වේ. කට්ටලයක් සඳහා අවම වශයෙන් එකම වටිනාකමකින් යුතු කාඩ්පත් 3ක්වත් එකම තිබිය යුතුය. මෙහිදී වංසය ගැලපීම නොකෙරෙන අතර අගය පමණක් ගලපනු ලැබේ. උදාහරණ ලෙස (රුවිත 7, හාරත 7, කලාබර 7), (ඉස්කෝප්ප K, හාරත K, හාරත K) වලංගු කට්ටල වන අතර (රුවිත 7, හාරත 7, රුවිත 8) අවලංගු වේ. පෙර සඳහන් කල පරිදි ජෝකර් ඕනෑම කාඩ්පතක් සඳහා ආදේශ කල හැකි බැවින් (ජෝකර්,ජෝකර්,ජෝකර්) යන්න වලංගු කට්ටලයක් වන අතර  (රුවිත 7, හාරත 7, ජෝකර්) යන්නද වලංගු කට්ටලයකි.



ප්‍රධාන මූලධර්ම දෙකේ සංකලන ඇසුරෙන් ක්‍රීඩාව වට 6කින් සමන්විත වෙයි. ඒවා පහත පරිදි වේ.

  • කට්ටල 2යි (3,3)
  • කට්ටල 1යි, ශ්‍රේණි 1යි (3,4)
  • ශ්‍රේණි 2යි (4,4)
  • කට්ටල 3යි (3,3,3)
  • කට්ටල 2යි, ශ්‍රේණි 1යි (3,3,4)
  • කට්ටල 1යි, ශ්‍රේණි 2යි (3,4,4)



ආරම්භයේදී එක් අයෙකුට කාඩ් 11 බැගින් සියළු දෙනාටම කාඩ් බෙදා ඉතුරු කාඩ් අන් අයට නොපෙනන ලෙසින් මුනින් අතට තබනු ලැබේ. තමාට ලැබුණු කාඩ් 11න් එක් කාඩ් පතක් ඉවත් කරමින් තමා සතුව කාඩ් 10ක් තබා ගත් යුතු වෙයි. මෙහිදී මෙම ඉවත් කරන කාඩ්පත හඳුනා ගන්නේ ක්‍රීඩාව කරන වටය අනුවෙනි. පළමු වටයේ ක්‍රීඩා කල යුත්තේ කට්ටල දෙකක් සාදා ගැනීම නිසා වඩාත් අවාසි සහගත කාඩ් පත ඉවත් කිරීම, තමා සතු අනෙකුත් කාඩ් හා සසඳමින් පරිස්සමින් යුතුව කල යුතුවෙයි. මෙසේ ඉවත් කල කාඩ් සියල්ල නොබෙදූ කාඩ් සමගින් මිශ්‍ර කර මැදින් තබයි. දැන් සියළු දෙනා සතුව කාඩ් 10 බැගින් වෙයි.

කාඩ් බෙදූ තැනැත්තාට වම් පසින් සිටින තැනැත්තා මැද ඇති නොබෙදූ කොළ සහිත ගොඩෙන් උඩින්ම ඇති කාඩ් පත රැගෙන ක්‍රීඩාව ආරම්භ කරයි. ඔහු දැන් තමා සතුව කාඩ් 11න් කට්ටල දෙකක් සාදා ගත හැකිදැයි බලයි.



උදාහරණ ලෙස ඔහු සතුව 7,7,7,5,6,4,3,3,2,2 ඇතැයි සිතන්න.
ඔහු අලුතෙන් ගත් කාඩ් පත 9යැයි සිතන්න. දැනටත් ඔහු සතුව එක් කට්ටලයක්(7,7,7) ඇත. තව 3ක් හෝ 2ක් හෝ ජෝකර් කාඩ් පතක් ලැබුනොතින් ඔහුට කාඩ් කට්ටල 2 සාදා ගැනීමට හැකි වෙයි. කට්ටල දෙකම සෑදී නොමැති නිසා "මම හරි" කියමින් කාඩ් කට්ටල දෙක තමා වෙතින් ඉවත් කිරීමට නොහැකි වෙයි. ක්‍රීඩාවේ අරමුණ තමා අතැති කාඩ් සියල්ල ඉවත් කර ගැනීම නිසා හැකි ඉක්මනින් කාඩ් කට්ටල දෙකක් සාදා ගැනීමේ අරමුණින් සහ ඔහුට එක් කාඩ් පතක් ඉවත් කිරීමට සිදුවන බැවින් 5,6,4 හෝ 9 ඉවත් කර අන් අයට පෙනෙන පරිදි වෙනම තබයි.

දැන් අවස්ථාව දෙවැනි තැනැත්තාටය. ඔහුට අවැසි නම් පළමුවැන්නා ඉවත් කල කාඩ් පත ගත හැකිය. ඔහුට එය නූවමනා නම් අන් අයට උවමනාදැයි අසයි. මේ අවස්ථාවේදී අන් අයෙකුට උවමනා කීවේ නම් එම කොළයද තවත් නොබෙදූ කාඩ් ගොඩේ උඩින්ම ඇති කාඩ්වලින් එක් කාඩ් පතක්ද(දඩයක් ලෙසින්) දෙනු ලැබේ. කිසිවෙකුට නූවමනා නම් නොබෙදූ කාඩ් ගොඩේ උඩින්ම ඇති කාඩ්වලින් එක් කාඩ් පත අර ගනියි.

පළමුවැන්නා සේම දෙවැන්නාද කාඩ් කට්ටල දෙකක් සාදා ගත හැකිදැයි බලයි. හැකි නම් "මම හරි" කියමින් එම කාඩ් කට්ටල දෙක අන් අයට පෙනෙන පරිදි ඉදිරියෙන් තබයි. ඔහු සතුව 6,6,6,8,8,8,A,J,Q,3,4 තිබුණේ යැයි සිතන්න. "මම හරි" කියමින් කාඩ් (6,6,6) (8,8,8) ඉදිරියෙන් තබයි. දැන් ඔහු සතුව ඇත්තේ කාඩ් 4ක් පමණි. ඔහුට පළමු වැන්නා කලා සේම තවත් එක් කාඩ් පතක් ඉවත් කිරීමට පුළුවන. එසේ ඉවත් කරන කාඩ් පත පළමු ක්‍රීඩකයා ඉවත් කල කාඩ්පත(9) උඩින් තබයි. දැන් ඔහු සතුව ඇත්තේ කාඩ් 3ක් පමණි. ඔහුට තවත් කට්ටල සෑදීමට නොහැක. අත ඉතිරිව ඇති කාඩ් ඉවත් කිරීමට අන් ක්‍රීඩකයන් කට්ටල සාදන තුරු සිටීමට සිදු වෙයි. වෙනත් ක්‍රීඩකයන් කාඩ් කට්ටල සෑදූ විට තමා අත ඇති කාඩ් ගැලපෙන කට්ටලය මතින් තැබිය හැකි වෙයි.

උදාහරණ ලෙසින් තුන්වන ක්‍රීඩකයා ක්‍රීඩ කරන අවස්ථාවේදී දෙවැන්නා (6,6,6) (8,8,8) කට්ටල සාදා ඇති නිසා තමා අත 6ක් හෝ 8ක් තිබුණේ වී නම් එම කාඩ් අදාල කට්ටල මතින් තැබිය හැකි වෙයි. නමුත් මෙසේ කිරීමට පළමුව තුන්වැන්නාට කට්ටල දෙකක් සාදා තිබිය යුතු වෙයි. එසේ නොමැති අවස්ථාවේ තමා සතුව 6 හො 8 තිබුනාට කිසිවක් කල නොහැක. මෙසේ ක්‍රීඩාව කරන අතරේ එක් ක්‍රීඩකයෙක් තම අත ඇති සියළුම කාඩ් ඉවත් කල විට පළමු වටය අවසන් වේ.  "පළමු වටය" යනුවෙන් අදහස් කරනුයේ කට්ටල 2ක් සෑදීම වටයයි.

දැන් අනෙකුත් ක්‍රීඩකයන්ගේ අත ඉතිරි කාඩ්වල ලකුණු ගණනය කර සටහන් කර ගනු ලැබේ.



නැවත දෙවන වටය සඳහා එනම් කට්ටල 1යි, ශ්‍රේණි 1ක් සෑදීමේ වටයට කාඩ් 11 බෙදයි. කාඩ් බෙදීම සිදු කරන්නේ ඉහත වටයේදී පළමු කාඩ් පත ක්‍රීඩා කල ක්‍රීඩකයාය. පෙරසේම එක් කාඩ් පතක් ඉවත් කර කාඩ් 10 සාදා ගනියි. කාඩ් බෙදූ තැනැත්තාගේ වම් පස පුදගලයා කාඩ් පතක් ගෙන අදාල කාඩ් රටාව ඇත්දැයි බලයි. නැත්නම් එක් කාඩ්පතක් ඉවත් කරයි... මෙම වටයේදී ශ්‍රේණියක් ඇති බැවින් තමා සතුව ඇති අදාල කාඩ් අනුපිළිවෙලට තැබිය හැකි වෙයි. එසේ කිරීමට තමාද එක් ශ්‍රේණියක් හා කට්ටලයක් සාදා තිබිය යුතුයි. පෙර පරිදිම එක් ක්‍රීඩකයෙක් තම අතේ සියළුම කාඩ් ඉවත් කර ගත් පසු මේ වටය නවතා අන් අයගේ ඉතිරි කාඩ්වල වටිනාකම් ගණනය කර පෙර ලබාගත් ලකුණුවලටම එක් කරයි.



මෙලෙස මුල් වට 5ම ක්‍රීඩා කෙරෙයි. අවසාන වටය තරමක් විශේෂ වටයක් වෙයි. මෙම වටයේදී තමාට ලැබුණු කාඩ් 11 භාවිතයට ගැනෙයි. අන් වටවලදී කල පළමුව කාඩ් පතක් ඉවත් කිරීම සිදු නොකරයි. තවත් විශේෂත්වය වන්නේ නොබෙදූ ගොඩෙන් ගන්නා කාඩ් පතද ඇතුළුව රටාව ගැලපිය යුතු වෙයි. උදාහරණ ලෙස  (A,A,A),(3,4,5,6),(8,9,10,J) කාඩ් සතුව ඇතැයි සිතන්න. දැන් කට්ටල එකක් හා ශ්‍රේණි 2ක් සෑදී ඇත. නමුත් පළමුව ඔහු නව කොළයක් ගත යුතු වෙයි. යම් හෙයකින් එය ඕනෑම A හෝ අදාල වංසයේ 2,7,Q හෝ ජෝකර් හෝ නොවුනහොත් ඔහුගේ රටාව බිඳ වැටෙනු ඇත. එවිට "මම හරි" යනුවෙන් කාඩ් ඉවත් කල නොහැකි වෙයි. එම නිසා අවසන් වටය බොහෝ විට වාසනාව හා උපාය මත රඳා පවතී.

මෙසේ අවසන් වටයෙන් පසුව මුළු ලකුණු අඩුම තැනැත්තා ජය ලබයි.




7 comments:

  1. මේක හෙමීට කියවල බලන්න ඕන එකක්.
    බිඟු පවුලට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ජය වේවා.. සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා

      Delete
  2. කාඩ් පැක් දෙකක් හොයාගෙන සෙල්ලම කරලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ජය වේවා.. සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා

      Delete
  3. අලුත් සෙල්ලමක් නොවැ............... කරලා බලන්න ඔ්න හිටං

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!