අනේ දෙවියනේ මට වුනු වියෝයා
නොමැති කලට ගෙයි කිසිවෙක් මෙසේයා
නැට්ට තියා කෙසෙල් කැපූ කලේයා
කෙසෙල් කැනත් හොරු අරගෙන ගියෝයා
බිරිඳ පුතා සමග සිටින්නේ ඇගේ ගම වන කටුපොතය. මා තනිවම පිළියන්දලට වී මහා පාලුවකින් කාලය ගත කරන්නෙමි. නිවාඩුවක් ලද සැනින් මා ඇගේ නිවසකරා පියඹායන්නේ නිදහස ලද කුරුල්ලෙකු මෙනි. සෑම සති අන්තයක්ම ගත කලේ ඇගේ නිවසේය. පසු ගිය සතියේ සඳුදා මා පිළියන්දල නිවාසට පැමිණ කල යම් කිසිවක් සිදු වී ඇති බව සිතුනි. විපරම් කරමින් යන විට දුටු දේ නිසා මා හට කෝපය වෙනුවට සිනහ නැගුනි. කිසියම් කෙනෙක් හෝ කිහිප දෙනෙක් අපේ වත්තේ තිබූ කෙසෙල් කැනකට ගේමක් දීලාය.
එය කෙසේද යත්:
බණ්ඩාර වහල්ල ඉතුරුවන පරිදි කෙසෙල් ඇවරි කපාගෙන ගොසින්ය. තවද මල් ඇවරියද ඉතුරු කර ගොසින්ය. මෙලෙස ගහේදීම ඇවරි වෙන් කිරීම කෙතරම අසීරුදැයි කියා අමුතුවෙන් කිව යුතු නොවේ.
මෙය කළ තැනැත්තා කවුරුන් විය හැකිද?