August 17, 2014

හෙළුවෙන් වනන්නේ බලාගෙනයි

මේ පහුගිය දවසක මගේ යාළුවෙක් සෙට් උනා කාලෙකින්. ඉස්කෝලේ කාලේ ඉඳලා මගේ හෙණ ෆෙඬා. කොහෙදෝ ගිහින් එන ගමන් අපේ ගෙදරටත් ගොඩ වෙලා යන්න හිතුනලු. ඉතින් කාලෙකින් සෙට් වෙච්ච හින්දා පොඩි අඩියක් දාගෙනම අපි දෙන්නා රාත්‍රිය පහන් කෙරුවා. ඉස්කෝලෙන් අස් උනාට පස්සේ ගොඩාක් දේවල් වෙලා. මං කැම්පස් ගියා. ඌ මොකද්ද කෝස් එකක් කෙරුවා. ඊට පස්සේ තව කෝස් එකක් කෙරුවා. අන්තිමට මොන මගුලක් කෙරුවද දන්නේ නෑ ඒත් මෑන්ස්ට ජයයි කියලා මං දැනගෙන හිටියා.

ඉස්සර අපේ හිටියා පොඩි සෙට් එකක්, සෙට් උනාම හෙණ පඬිවරු වෙනවා. කාගේ හරි සිංදුවක් හරි, කියමනක් හරි අල්ලගෙන ඉතින් පතුරු ගහනවා. පතුරු ගහනවා කිව්වේ ඒකේ අරුත මොකක්ද, මෙහෙම කිව්වේ මොකද, ඇයි ඒක මෙහෙම නොකියන්නේ, මෙහෙම කිව්වනම් වඩාත් නිවැරදියි නේද වගේ ලොකු කතාවක්. අපි සිරාවට කතාව කරන්නේ. නෝ ජෝක්ස්.. දැන් නම් හිතෙනවා මොන තරම් අපි කෙප්ප ඇදබාලා තියෙනවද කියලා. හිනාත් යනවා... අපි දෙන්නා පදමට රත් වෙනකොට අපිටත් නොදැනීම ඒ අතීතයට අපි දෙන්නම ගිහිල්ලා ඉවරයි...

මචං උඹට මතකද පොල්පිත්තී?
මොකෝ බං ඒකි අමතක... මට තාම මතකයි ඒකි මට ගස්සපු හැටි. මම කිව්වා..
ඒ අර උඹ ලියපු නිසැඳස හින්දා නේද?
ඔව් ඔව්.. ඒකි කොහොමත් මාත් එක්ක වලිනේ බං
හැබැයි පස්සේ ඒකි පට්ට චාටර් උනා නේද? ඇසෙම්බ්ලියෙත් කිව්වනේ..
ඔව් බං. ඒකෙන් පස්සේ මගේ මූණවත් බලුවේ නෑ බං...

ඔහොම දිගටම අපි දෙන්න ඉස්කෝලේ කාලේ වෙච්ච අකරතැබ්බයක් මතක් කලා. කතාව කිව්වොත් මෙහෙමයි. අපි හිටියේ මැක්ස් පන්තියෙනේ. ඉතින් සයන්ස්කාරයෝ (අපි නං කිව්වේ සංස්කාරයෝ කියලා) එක්ක හැමදාම වලි. මැත සර්ලා මැක්සා. උගන්වන වෙලාවට සිරා, අනිත් වෙලාවට ෆන් එකේ ඉන්නවා. ඒකට බයෝ මැඩම්ලා.. හෆ්ෆා.. මතක් වෙනකොටත් මයිල්-කිලෝමීටර් ඔක්කොම කෙලින් වෙනවා. ඒකට හරියන්න බයෝ කාරයෝ ටික. අර මැඩම්ලා මොනවද කියන්නේ ඉස් මුදුනෙන් පිළි අරගෙන දුම් අල්ලාගෙන ඉන්නවා.  ඉතින් හැමදාම අපේ වලිය. කෂේරුකාවක් නැති හෝමෝ සේපියන්ස් කියලා බයිට් එක පටන් ගන්නේ. මේ අතර පොල්පිත්තක් සේ කෙසඟ සිරුරක් ඇති හැමෝටම සැරදාන මැඩම් කෙනෙක් හිටියා. මට නම මතක නෑ. අපි ඔක්කොමලා කිව්වේ පොල්පිත්තී කියලා. එයා පින්සිපල්ගෙන් පටන් අරගෙන සික්කා දක්වා හැමෝටම දෙස් දෙවොල් තියෙනවා. කට ඇරියොත් ඉවරයි. අනේ මේ අතරේ හිටියා දෙවිවරු වගේ ටීචර්ලත්.

ඉතින් අපි ඔය අවකලණය, අනුකලණය වගේ වචන දාලා බයෝ කරන එවුන් බය කරනවා. අනේ උනුත් බය වෙනවනේ. ඉතින් අපේ තිබ්බා බොටනිකල් ගාර්ඩන් කියලා එකක්. ඒකේ තිබ්බා ටිකක් හැදිච්ච ගස් දෙක තුනක්. ඉස්කෝලේ ඇරුනාම අපේ මැත එකේ හිටිය සෙට් එක ඕවට නගිනව, සිංදු කියනවා පොඩි ෆන් එකක් ගන්නවා. බයෝ එකේ එවුන් එන්නේ නෑ පැත්ත පලාතේ බයිට් කරන හින්දා. දවසක් අපි මෙහෙම හවස ඉන්නකොට අරයා අවනේ. එයාට මල. නිකම්ම මල පැන්නා. අපිට බැනලා එලවන්න ගත්තා. අපි "පොත්පිත්තී වගේ රණ්ඩු කරන්නේ...."  කියලා සිංදු කෑල්ලක් දාගෙන හිමීට මාරු උනා. මේක ඇහිච්ච අරයට තවත් මල. පහුවදාම එයාගේ සෙට් එක අරගෙන ඇවිල්ල අර ගස් ටික කප්ප්ලා දැම්මා. අපරාදේ.. අපිව කපන්න බැරි කමටට කොහෙදෝ ඒක කලේ.

මම ඒ කාලේ ඉඳලම නිසඳැස් ලියනවා. වෙනදා වගේම මං එකක් ලියලා දැම්මා බිත්ති පුවත් පතේ හැබයි මේ ගැන නෙමෙයි. මෙන්න දවස් දෙක තුනකට පස්සේ එකපාරම අංශභාර ආවා. මට නෙලාගෙන නෙලාගෙන ගියා. පන්තියම අන්දුන් කුන්දුන්... මං ගුටි කන ගමන් අහනවා ඇයි ගන්නේ කියලා. තෝ දන්නේ නෑ කිය කිය මට තලනවා.. මම දැක්කා අරයා ඉන්නවා පැත්තක, ඉතින් තේරුනා මේක එයාගේ ගේම් එකක් කියලා. පස්සේ මං ගිහින් පිංසිපල්ට විස්තරේ කිව්වා. මාත් එක්කම ගිහින් බැලුවා ඒ කියන නිසඳැස. අනේ බලලා කිව්වේ මෙන්න මෙච්චරයි.

"හෙළුවෙන් වනන්නේ බලාගෙනයි කොල්ලෝ."


පස්සේ මං කල්පනා කරලා බලනකොට තේරුනා මං ලියපු එක, එක් එක් කෙනාට තමන්ගේ කෝණයෙන් බලලා තොප්පි දාගන්න පුලුවන් බව. පොල්පිත්තී තොප්පිය දාගත්තා විතරක් නෙමෙයි, අංශභාරවත් කඩේ යවලා එයාටත් තොප්පිය දම්මවලා තමා මට ගැස්සෙව්වේ.

අනේ ඒ වෙලාවේ මට හිතුනේ ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහියෙන් කියවිය යුතුයි කියලායි. ඒත් මේක අරුම පුදුම ලෝකයක් හින්දා එහෙම වෙන්නේ නෑ. ලියන්නා කිසේ ලීවත් කියවන්නා තමන්ට උවමනා පරිදි කියවා බලා වාසි ලබා ගන්නවා. විශේෂයෙන් වාණිජ ලෝකේ, තිබෙන තරඟය හරහා මේක මහත් සේ කැපී පෙනෙන්න තියෙනවා. තමන්ට රිසි දේ ලබා ගැනීමට නොහැකිනම් අන් අය එය ගැනීමෙන් වැලැක්වීම පිනිස මේ අකටයුතුකම් කෙරෙනවා. ඉතින් බළලුන් ලවා කොස් ඇට බාවාගන්නා සමාජයක ඉහළ පෙල තාන්ත්‍රිකයින් කිසිවක් නොසොයා ඇසූ සැනින් ක්‍රියා නොකටයුතු කාලයක්. නැත්නම් මං වගේම ඔබට පහළින් මහත් පිරිසක් නොකල, නොසිතූ දේ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙනවා. මේ ගැන අපි දෙන්නා තවත් කතා කලා.

මේකයි මචං... ඒදා අංශභාර අරක ගැන හොයන්නෙත් නැතුව නෙලන්න ගත්තේ අපේ ඉතිහාසේ කේස්නේ. අපි බං කී සැරයක් එහා පැත්තේ  පන්සලෙන් කුරුම්ඹා කඩලා මාට්ටුද?
ගුටිකෙලි කීයකට මාට්ටුද? අපේ සෙට් එක කොහොමත් විසේකාර එවුන් කියලා හංවඩු වැදිලනේ බං තිබ්බේ. අවස්ථාව ආවා. අපිට බඩු.
බලපං එදා පිනා උඹට කෙලියද? නෑනේ...

ඔන්න ඔය විදියට අපි දෙන්න ඒ කතාව සෑහෙන්න වෙලාවක් කතා කලා.  මදුරුවෝ තල තලා, දුම් දාගෙන ඉන්නකොට මහ රෑ වෙලා. ඉතින් කුස්සියට ගිහින් තිබ්බ දෙයක් බෙදාගෙන ගිලබාලා සාලෙට වෙලා හිමීට නිදා ගත්තා, මොකෝ පොඩි එවුන් දෙන්නා ඇහැරුනොත් ඉතින් ඉවර තමානේ...
අන්තිමට නින්ද යනකොට මටත් හිතුනේ හෙලුව කොච්චර බලගතුද කියලා.


22 comments:

  1. මොකක්ද දාපු කවිය

    ReplyDelete
    Replies
    1. ඒක මතක නෑ හරියට. ඒත් හොඳට මතකයි ඒක මේ කාටවත් අරින්න ලියපු එකක් නෙමෙයි කියන එක නම්. හැබැයි මෙහෙම එකක් තිබ්බා මගේ හිතේ, මොළේ ඇතුවුන් මෙසේ නම් නැත්තවුන්ගේ කම් මොකද වගේ එකක්...

      Delete
  2. පොල්පිත්තී තමා අපේ බයෝ එකේ මිස් ගේ නමත් ඇත්ත නම පද්මා මටත් මතක් උනා ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. හා හා... එහෙනම් එයාමද දන්නේ නෑ මෙයත්

      Delete
  3. හෙළුව තමා වටින්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ හෙළුව සිරා

      Delete
  4. හහා ... මැක්සා ... සිරා කතාව .... :)

    ReplyDelete
  5. මාත් පාසල් කාලයට ගිහින් ආවා

    ReplyDelete
  6. ලියපු කවියත් දැම්ම නම් හරි.. අන්තිමට ඇති කියල හිතාගෙන කියවගෙන ආවේ.. :P

    ReplyDelete
    Replies
    1. ඒක මතක නෑ හරියට. ඒත් හොඳට මතකයි ඒක මේ කාටවත් අරින්න ලියපු එකක් නෙමෙයි කියන එක නම්. හැබැයි මෙහෙම එකක් තිබ්බා මගේ හිතේ, මොළේ ඇතුවුන් මෙසේ නම් නැත්තවුන්ගේ කම් මොකද වගේ එකක්...

      Delete
  7. මේකත් සිල්ල උන්නැහෙගෙ අර "යකගෙ ලියුම" කෙටිකතාව වගේනෙ. චැහ් කවිය නෑ අන්තිමට.

    ReplyDelete
    Replies
    1. ඒක මතක නෑ හරියට. ඒත් හොඳට මතකයි ඒක මේ කාටවත් අරින්න ලියපු එකක් නෙමෙයි කියන එක නම්. හැබැයි මෙහෙම එකක් තිබ්බා මගේ හිතේ, මොළේ ඇතුවුන් මෙසේ නම් නැත්තවුන්ගේ කම් මොකද වගේ එකක්...

      Delete
    2. යකගෙ ලියුම කියවන්න ඕනෑ අදම හොයාගෙන

      Delete
  8. //හැබැයි පස්සේ ඒකි පට්ට චාටර් උනා නේද? ඇසෙම්බ්ලියෙත් කිව්වනේ..//
    මේ සීන් එක මොකක්ද හැබෑවට ?? ;)

    ReplyDelete
    Replies
    1. ආ ඒකද... එකත් ටිකක් දිග කතාවක්. වෙන වෙලාවක කියන්නම්කෝ

      Delete
  9. මූට ගුටිකාපු ඒවයි අරවයි මේවයි ඔක්කොම මතකයි. ඒ කට හේතු භූත වෙච්චි මූම ලියපු කවිය මතක නෑ. අනේ පලයං බං යන්න බොරු කියන්නැතුව. හෙලුවෙං වනන්නෙ බලාගෙනයි ලියල කෑල්ලක් අල්ලං බොරු කතාවක් ගොතං පෝස්ට් එකක් දාල මෙතන... බොරු කියනවනං අහුවෙන්නැති බොරු කියහං බං අර x කකාල, රාජ්ල හැලපෙල වගේ. පජාති බොරු නොකිය ටිකක් ප්‍රොෆෙශනල් බොරුවක් කියහං.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!