February 3, 2013

චංගුමී අද මොකද කරන්නේ?



චංගුමී අද මොකද කරන්නේ? 
වෙන මොනවා කරන්නද? මොකක් හරි කෑමක් උයාගෙන රජ්ජුරුවන්ට බෙදයි. රජා රහයි රහයි කිය කිය කයි.  
උයාගෙ කනවා ඇරෙන්න වෙන මොනවද වෙන්නේ? 

මෙන්න මෙහෙම කියපු ගොඩක් අය සද්ද නෑ වගෙයි. සුජාත දියණි කතාව සම්පූර්ණයෙන්ම කෑම ගැන තියෙන කතාවක්ය, ඒක ගෑණු අල්ල ගන්න හදපු ගොන් කතාවක්ය, නිකන්ම නිකන් ගෑණු පොර කරන්න හදපු අර ප්‍රවීණා වගේ කතාවක්ය ආදී වශයෙන් අනුමාන කළ ඇත්තෝ ඒ දවස්වල මේ වගේ කතා නම් දහසක් ගොතන්නට ඇත. නමුත් ඔවුන්ට දැන් ඔවුන්ගේ විළි වසාගන්නට සිදුවී ඇතිවාසේය. මේ දිනවල චංගුමී කරන්නේ උයන එක නෙවේය. බෙහෙත් කරන එකය. ඒ නිසා පෙර කී උයන කතා දැන් වලංගු වන්නේ නැත. 

ඒවා කෙසේ වෙතත් සෑම පවුලකම එක් අයෙක් හෝ මෙම නාටකය නොබල්ලනේයැයි නම් කිව නොහැකිය. වෙනදා රෑ වනතුරු කරක් ගැසූ කොල්ලෝ කුරුට්ටෝ පවා දැන් සවස 6.30 වන විට රූපවාහිනියක් ළඟට ඇදෙන්නට අරගෙනය. අම්මලා 6.30 වන්නට පෙර රාත්‍රී ආහාර සූදානම් කර අවසානය. මෙසේ මුළු ලංකාවම වාගේ චංගුමී එසේත් නැත්නම් සුජාත දියණි බලන්නට එක් රොක් වන්නේය. බොහෝ නිවෙස්වල එය පවුලේ නාටකය වී ඇත්තේය. මා එහි කිසිම දොසක් නොදකින්නේ ඒ හරහා කිසියම් වූ ලාබ ප්‍රයෝජන කිහිපයක් කාටත් හොරා අපට ලැබෙන නියාව නිසාය. අඩුම වශයෙන් පවුලේ සියල්ලන්ටම එකට සිට නැරඹිය හැකි තරමේ නාටකයක්වත් වීමය. 

කෙසේ වෙතත් දැන් නාටකයේ අවසාන අවධියට එලැඹ ඇත. තවත් සතියකින් පමණ මෙය අවසන් වන්නේය. කොටස් 54ක් පමණ ඇති මෙම නාටකය ලංකාවේදී කොටස් 75ක් පමණ දික් කර ඇත්තේ අතරින් පතරට වෙළඳ දැන්වීම් එක් කිරීමෙනි. මිනිසුන් මෙසේ ඇලී ගැලී මෙම නාටකය නරඹන්නට හේතුව සොයා අපද මෙවැනි නාටක ලංකාවේ නිපදවිය යුතුය. මෙගා නාටක කෙරුවාව අහකට දමා සමාජයේ කුතුහලය දැනුමත් එක් කරමින් කෙරනා නාටක කළ යුතුය. 

මා මෙම නාටකයේ කැමතිම ගුණාංගය වන්නේ පරිසර හිතකාමී ලෙස කෙරෙන කටයුතුය. හුදෙක් අතීත මිනිසා පරිසරය හා සමගිව සිටි ආකාරයත් කුමංත්‍රණාදී කටයුතු නිසා මිනිසා පිරිහෙන සැටිත් සරලව අප අතරට ගෙන එන්නට තරම් අධ්‍යක්ෂක සාර්ථක ඇති බවක් මා දකින්නේය. 
තව එක් කරුණක් සිහි කිරීමට කැමැත්තෙමි. මේ කතාව අවසන් වී වහාම තවත් එක් කොරියානු කතාවක් එන්නේය. මෙය එතරම් සුබ ලකුණක් නොවේ. අපේ මිනිස්සු එක් දෙයක් එහි රසය නැතිවනතුරු පට්ට ගසති. ගුණාත්මකභාවය හා රසාත්මකභාවය රැකගෙන කටයුතු සිදුවන්නේ නම් කෙතරම අගනේද?

January 19, 2013

යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට

යුග යුග බැඳි පෙම් දමින් වෙලන්නට 
සිතුවිලි පවුරට කවුලු තියන්නට 
ගලනා සිතිවිලි හද පුරවා 
සෙනේ වඩන්නෙමි සසර පුරා...  
සෙනේ වඩන්නෙමි සසර පුරා... 


මිහිකතරට වැටි සිහින් කඳුල ඔබ 
තෙත් කෙරුවා අද වියරු වැටුනු සිත 
කැඩී බිඳී ගිය පවුරු සදා 
සනසාලූවා මහද පොපියවා... 
සනසාලූවා මහද පොපියවා... 

යුග යුග බැඳි පෙම් .... 

අමාවකට ආ තරු කැකුලයි නුඹ 
පාලු අහස විකසිත කරමින් 
දිවියේ සරදම් ඉවසා සිත්ගෙන 
හද පුරවමි මා සසර පුරා... 
හද පුරවමි මා සසර පුරා...

යුග යුග බැඳි පෙම් .... 


ආදරයෙන් හා ජීවිතයෙන් ලද බොහෝ ගැහැට කම් කටොළු නිසා හෙම්බත්ව අද දිනය සරිකරනා එක අහිංසක ලඳකි. ඇගේ දිවියේ අරුණලු පුබුදන්නට ඔහු ඇයට ඉන්ද්‍රකීලම විය. යුග යුග බැඳි ආ සසර බැඳීමක්දෝ ඇයට දහස් වතාවක් සිතෙන්න්යට ඇත. ඇගෙ සිතිවිලිවලට කපොලු තබමින් ගලා ආ සිතිවිලි ගඟ පත් ඉරුවල බොඳ කරන්නට සිතෙන්නට ඇත. වියරු වැටී තිබුණු ඇගෙ දරදඬු සිත් මඩල ඔහුගේ කඳුලින් සුවපත් වන්නට ඇත. අමාවකට තරු නැති දා ආකාසයට, පාලු මකන්නට අලුතෙන් පායා ආ තරු කැකුලක්ම විය. එයට බැඳි පෙම මෙසේ අකුරුවන්නට ඇත.


January 4, 2013

ලිංගික අධ්‍යාපනය ගැන ළමුන් දැනුවත් කල යුතුය




 
මෙම විඩීයෝ පටය අප සමාජයට ඉතා වැදගත් පණිවුඩයක් ගෙන එන්නේය. අවුරුදු 6ත් 8ත් අතර කුඩා දරුවන් කිහිපදෙනෙක් සමග එක් වී කරන්නාවූ මෙම සංවාදය ලිංගිකත්වය යන්න කුමක්ද යන්න හා අපයෝජනය යන්න කුමක්ද යන්න ඉතා සරල බසින් විස්තර කෙරේ. මෙහි ප්‍රධාන කරුණු 3ක් ගැන සඳහන් වේ. 

1. ශරීරයේ කිසිවෙක් ස්පර්ශ නොකල යුතු ස්ථාන 3ක් වේ. එනම් පපුව, තට්ටම් හා  කකුල් අතර ප්‍රදේශය වේ. මේ කාරණාව ඔබේ දරුවාටත් තේරුම් කර දෙන්න

2. කිසිවෙක් මෙම ප්‍රදේශයන් ස්පර්ශ කලේ නම් වහාම කෑ ගහන්න. (මොකද කරන්නේ... එපා... ආදී වශයෙන් ඒ බව දරුවාට කියා දෙන්න)

3. වහාම ඔබේ විශ්වාසවන්ත පුද්ගලයෙක් වෙත දැනුම් දෙන්න. විශ්වාසවන්ත පුද්ගලයන් කවුරුද කියා අඳුන්වා දෙන්න. මව, පියා, ඔවුන් නොමැති අවස්ථාවේදී ඊළඟට විශ්වාසවන්ත පුද්ගලයා ආදී වශයෙන් කියා දෙන්න.

මෙම පාඩම ඔබේ දරුවා සමාජයේ සිදු වන අපයෝජනයන්ගෙන් බේරා ගනී. අදම මෙය අරඹන්න. වඩා වැඩදායි දරුවන් බිහි කරන්නට ඔබේ දරුවාට මේ පාඩම් කියාදී ඔබත් සහය දක්වන්න. 

December 5, 2012

සිතන්නට යමක්



මෙය හුදෙක්ම අප විසින් දැන හෝ නොදැන කරන්නාවූ වැරැද්දකි. දරුවන් අපේ අනාගතය මෙන්ම පාසලේද, රටේද, මුළු ලෝකයේමද අනාගතය වන්නේය. එමනිසා ඔවුන්ගේ අධ්‍යාපනය අපට මෙන්ම පාසලටද, රටටද, මුළු ලෝකයටමද ඉතා වටිනා අංගයක් බව පුන පුනා කිවයුත්තක් නොවන්නේය. ඒ කෙරන් අප විසින් ඒ සඳහා මහත් උනන්දුවක්, අවධානයක් යොමු කිරීම නිතැතින්ම අපේ සිත් තුල ගොඩනැගිය යුතු කරුණක් විය යුත්තේය. අප විසින් ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා යොදන වෙරය මතු යම් දිනෙක අප සියල්ලන්ගේම සිත් පහන කරන කාරුණක් වන බව සක් සුදක් මෙන් කාහටත් පැහැදිළිය. මේ බව වඩාත් තේරුම් ගත යුත්තේ අපේ දෙමාපියන් බව බොහේ දෙනාගේ මතය වුවත් ගුරුවන්ගේ වෙර වීර්ය ගැන බෝහෝ දෙනා අමතක කරන්නේය. ඒ හුදෙක්ම ඒ සියල්ල මුදලට යට කර ඇති බැවිනි. පාසල් අධ්‍යාපනයට මෙන්ම උසස් අධ්‍යාපනයටත් එය දැන් වී හමාරය. දැන් ඉතුරුව ඇත්තේ පෙර පාසල් අධ්‍යාපනය පමණකි. පෙර පාසැල් අධ්‍යාපනයට එහෙන් මෙහෙන් කණ කොකා හඬලනු යන්තම් හෝ ඔබටත් දැනෙන්නට ඉඩ නැතුවාම නොවේ. ඒ නම් ඔබට හෝ ඔබේ සමීපතයකුට පෙර පාසල් යන වයසේ කුඩා දරුවකු සිටීම නිස වන්නට හැකිය. මේ ලිපිය හුදෙක් ගොඩ නැගෙනුයේ මා ලද කිසියම් අත්දැකීම් හා සමීපතයන්ගෙන් ලද අදහස් උදහස් අනුවය. එමනිසා මෙහි අඩංගුවන කරුණු හුදෙක්ම නිවරද නොවන්නට බොහෝ ඉඩ ඇත්තේය.

මීට සති කිහිපයකට කලින් අප සියල්ලෝ විසින් "ළමා දිනය" මහා උත්සවාකාරයෙන් සමරන්නට විය. සමහර දෙමාපියන්ට එය අමතකවුවත් ගුරුවරුන් එය මතක් කර දීමට තරම් කාරුණික වූහ. එය එසේ වූයේ හුදෙක් ඔවුන්ට කිසියම් ගතමනාවක් හෝ වාසියක් ලබා ගැනීමේ අරමුණින් නොවන බව නම් නිවැරදිව පැවසිය හැක්කක් නොවේ. මෙම සිද්ධිය සිදුවූයේ පිළියන්දල අවට ඇති එක්තරා පෙර පාසලකය. එහි නම මේ ලිපියට ඇතුලත් නොකලත් මෙවන් සිද්ධීන් නිරතුරුව සිදුවන්නේ නම් එය පළ කිරීම කිසියම් අයෙකුට යහපතක්ම නොවන බව සිතීමට උගහය.

එදා පෙර පැවසූ පරිදිම ළමාදිනය වූයේය. මේ සඳහා මෙම පෙර පාසැලද කුමක් හෝ විශේෂ කටයුත්තක් කල යුතුයැයි සිතන්නට ඇත. ඒ සඳහා ඔවුන් තෝරා ගතතේ (සිතුවම්) දැක්මක් එනම් (චිත්‍ර) ප්‍රදර්ශණයක් පැවැත්වීමය. මේ වෙනුවෙන් කලයුතු කටයුතු බොහෝමයක් වන්නේය. ප්‍රධානම කටයුත්ත වන්නේ දරුවන් ලවා ඔවුන්ගේ සිතුවම් ඇන්ඳවීමක් හෝ කිසියම් කටයුත්තක් කරවා අවසන් ප්‍රථිපලය විදහා දැක්වීමය. (මෙහි සිතුවම් දැක්මක්යැයි ලෙස නම් කලේ බොහෝමයක් තිබුණේ සිතුවම් බැවිනුත් මේ කුමනාකාරයේ කටයුත්ත්දැයි කිසිවෙක් දැන නොසිටීම නිසාවෙනි. මෙය හුදෙක්ම මීට හාත්පසින්ම වෙනස් වී දැක්මක් වුනාදැයි යන්න නිවැරදිව කිව නොහැකිය.) අප බොහෝ දෙනා පාසැලේදි හෝ ඉන් බාහිරව මේවැනි දේ කර ඇත. එහිදී ඒ වෙනුවෙන් අප විසින් හෙලූ දහඩිය මෙපමණයැයි මායිම් කල නොහැක. නමුත් එක සත්‍යයයක් වන්නේ අප වෙහෙසුන තරම වැඩි නම්, කැප වී කල කටයුතු වැඩිනම් එහි සාර්ථකත්වයත් වැඩි බවත් අලසව සිට කටයුතු කිරීමෙන් ලැබෙන්නේ අලස ප්‍රථිපලයක් බවත්ය.

ගුරුවරුන් දරුවන්ට ආදරේය. විශේෂයෙන් කුඩා දරුවන්ට එය අති මහත්ය. එම කණ්ඩායම දැන් ප්ලේ ගෲප් (Play Group) ලෙසින් අලුත් වෙළඳ නාමයකින් අප අතරට පැමිණ ඇත්තේය. එහි කිසිදු වරදක් නැත්තේය. වරද ඇත්තේ මෙසේ විකුණන දෙය සතු ගුණාත්මකබාවයේය. පෙරපාසැල් අතර ඇති සිසිල් ගින්න ගැනද වෙනමම කතා කලයුතු වන්නේය. ඒ කෙසේ වෙතත් පෙර පැවසූ පෙර පාසල සූදානම් කල සිතුවම් දැක්ම සැලකූ කල්හි එහි නම් බොහෝ අඩුපාඩු වන්නට විය. අප කා අතින් වුවත් වැරදි සිදුවන්නේය. නමුත් නොසැලකිල්ල නිසා සිදුවන වැරදි සඳහා ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල නොවේද? මෙය කිනම් වූ දැක්මදැයි එතැනට පැමිණ සිටි බොහෝ දෙමාපියෝ නොදැන සිටියහ. සමහරු මෙය සිතුවම් දැක්මයැයි සිතූහ. සහරු එය අත්කම් දැක්මයැයි සිතූහ. සමහරෙක් මේ කිසිවකුත් දැන නොසිටියහ. මෙය පළමු වරදයි. මෙහි අඩු පාඩුව ඇත්තේ හුදෙක්ම පරිපාලනයේය. පළමුව දැනුවත් කල යුත්තේ ගුරුවරුන්ය. දෙවැනුව දෙමාපියන්ය. දෙමාපියන් දැණුවත් කිරීමෙහිලා අපහට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැන අවබෝධයක් පරිපාලනයට හෝ ගුරුවරුන්ට නොමැති නම් ඔවුන් ඒ පුටුවලින් ඉවත් වී කල හැක්කෙකුට දිය යුතුය. මා ගුරුවරයෙක් හෝ පරිපාලන නිළධරයෙක් වූවා නම් ගුරුවන් කැඳවා අප කරන්නේ කුමක්ද, කරන්නේ කෙසේද යන්න ගැන විවෘත සංවාදයක් ගොඩ නංවා එහි ප්‍රථිපලයන් මනවා පැහැදිළිව දරුවන්නේ දෙමාපියන්ට ලැබෙන්න්ට සලස්වන්නේ බොහෝ වුවමනාවෙනි. පසුව එය තහවුරු කරගැනීමත් සිදු කරන්නේ නිතැතිනි. ඒ වෙනුවෙන් පන්ති කාමරයේ හෝ ප්‍රධාන දැන්වීම් පුවරුවේ සටහන් කිරීමට අමතක නොකරමි. ගුරු-දෙගුරු සටහන් පොතේ පැහැදිළිව ලියා යවමි. එය තේරුම් ගත් බවට පිළිතුරු එවන මෙන් දන්වා යවමි. මේ ආකාරයෙන් දෙමාපියන් දැනුවත් කරවූ කල්හි ඔවුන්ද වඩා උනන්දුවෙන් තම දරුවන් කටයුත්ත සඳහා ක්‍රියාත්මක වන්නේය. සියල්ලම ගුරුවරුන්ට පවරන්නට නොවන්නේය. මෙසේ මා දොස් නගනුයේ මා දන්නා මවකට මේ දිනය ගැන තොරතුරු දැන ගත්තේ පෙර දිනයේ බවත් එයත් නිවැරදිව ලත් තොරතුරක් නොවන බවත් මා හා පුන පුනා කියමින් සිටි බැවිනි. තවද ඇය වැවසුයේ මේ බව අඩුම තරමින් දින දෙකකටවත් කලින් දැන ගත්තානම් දරුවා සමග විනෝදයෙන්ම කිසියම් කටයුත්තක් කර ඔහුටද කිසියම් දෙයක් කියාදී සතුටෙන් කිරීමට ඉඩ තිබුණ බවය. ඇය පාසැල ගැනද ගුරුවරුන් ගැනද දොස් නගමින් සිටින්නට වූයෙන් මා එතැනින් ඉවත්වූවත් එහි කිසියම් පාඩමක්/උපදෙසක් නැතුවාම නොවේ. (ඇය බොරුවක් කීවා වන්නටද ඉඩ නැතුවාමත් නොවේ.)

තවත් එක් විශේෂ සිද්ධියක් වනුයේ නිවේදන කටයුතු කල ආකාරයය. නිවේදන කටයුතු කිරීමෙහිලා දෙදෙනෙක් වන්නට වූ අතර භාෂා දෙදෙකින් යුක්ත විය. අපේ මව් බසින් කල නිවේදන කටයුතු ගැන සෑහිමකට පත් වුවත් ඉංග්‍රීසි බසින් කලාවූ නිවේදන නම් සතුටුදායක නොවීය. උදාහරණයකට මෙය දක්වමි.

ඔයිල් ලෑප්ම් එක පත්තු කිරීමට....

මෙම වැකිය කිසිම බසකට නත්තේය. ඔයිල් ලෑම්ප් එකෙන් පටන් ගත්තා නම් අඩුම ගානේ ලයිට්නින් කියලාවත් කියන්න ඕනෑය. පත්තු කරනවා කියන්නේ කියන භාෂාවෙන්ය. චිරානුගත වගේ ලස්සන වදන් නැතුව වුවත් මෙය සරලව පොල් තෙල් පහන දැල්වීමට කාරුණික ආරාධනය යනුවෙන් පවසිය හැකිව නොතිබුණා නොවේ. ඇය කලේ තමන්ගේ සායම යවා පාසැලේද සායම යැවීමය. මෙසේ වන්නේ හුදෙක්ම සූදානම නැතිකම නොවේද? මේ ගැන පරිපාලනය මෙන්ම අදාළ ගුරුවරියද තවත් වරක් සිතිය යුතුය. තවද මෙම දැක්මේ න්‍යාය පත්‍රය සියළුම දෙමාපියන් වෙත ලැබෙන්නට සැලැස්විය යුතුය. කිසියම් ප්‍රසිද්ධ ස්ථානයක අලවා තැබිය යුතුය. මේවා අප විසින් සිවයුතු දේ නොවේ. සාමාන්‍යය පරිපාලන සේවයේ නියුත්ත වූවන්ගේ සිත්හි නිතර නැගෙනා සිතිවිලි දාමයන්ය.

තවත් බොහෝ කරුණු කාරණා තිබුණත් ඒ ගැන විචාරයට වඩා වැදගත් වනුයේ මෙම ලිපිය කියවන කිසිවෙක් වෙත්නම් මේ ගැන නැවතවරක් සිතීමය. ඔබ පෙර පාසැල් ගුරුවරයෙක් නම් දෙමාපියන් අතර ඇති සබැඳියාව වැඩි කරන්න උපක්‍රම සිතන්න. මේ කියන්නේ අත යටින් ගහන්න කියන එක නොවේය. සමහර දෙමාපියන් කාර්ය බහුලය. සමහරු දැනුමෙන් අවමය. ලැජ්ජාශීලීය. නිහඬය.මේ ගැන ඔබ නැවත වරක් සිතන්න. ඔවුන් ඔබේ මිතුරන්ය. ඔබ මෙය කරන්නේ රුපියල් සත නිසා නොවන බව සිතන්න. ඔබ පරිපාලන කටයුතු කරන්නෙක්නම් ඔබට දහසක් දේ කරන්නට ඇත. මෙය ඔබේ ජීවනෝපාය බව සත්‍යයකි. නමුත් දෙමාපියන් ඔබේ ගනුදෙණුකරුවා පමණක්ම නොවන බව සිතන්න. ඔවුන්ට වැඩිපුර යමක් දෙන්නට සිතන්න. ඔබ පාසැලට දරුවා යවන මවක් හෝ පියෙක් නම් මීට වඩා ගුරුවරුන් හා සබඳකම් පවත්වන්නට උත්සුක වන්න. නැවතත් කියන්නට වන්නේ ඔබ විසින් අල්ලස්/තෑසි බෝග දීම නොවේය. ගුරුවරයාගේ හොඳ නරක දකින්නේ ඔබය. ඒ බව නොපැකිලව ඔවුන්ට පවසන්න. එය ඔවුන්ට කරනා ලොකුම උපකාරයයි. තැන තැන ඔවුන්ගේ වැරදි කීම කාටත් වැඩක් නොවන්නේය. එඩිතර වන්න. කෙසේ වෙතත් මේ සියල්ලම ඔබේ දරුවා වෙනුවෙනි. ගම වෙනුවෙනි. පාසැල වෙනුවෙනි. රට වෙනුවෙනි.


මොහොතක් සිතන්න.