නත්තල මහ ඉහලින් සමරන මේ රටේ(ස්වීඩන්) උන්දැල අපිටත් එන්න කියාපි සාදයට. ඉතින් ඔන්න අපිත් සෙට් උනා කියමුකෝ.ඔෆීසියේදීම සල්ලන් වෙන්න තරං මුන්දැලෑ කරුණා උනා කියහන්කෝ. මාත් මොකෝ කියලා වයින් වීදුරු දෙකතුනාක්ම නාමාගත්තා.
පස්සේ ඉතින් අර ඉස්සරලා කියපු සුදු නැන්දාගේ රථ ගායේම නැගලා ගල් ගුහාවකට ගියා කියහන්කෝ. ගල් ගුහාව කිව්වට මේක, මේ උන්දැලෑ හෙන ඉස්සර කාලේ යුද්ධයක් ආවොත් බේරෙන්න කියලා හදාපු එකක්.
මෙහේ යුද්ධ කියන්නේ හරියට අපි පොඩි කාලේ අල්ලන සෙල්ලන් කොරනවා වගේ, නැත්තම් හොරා පොළිස් කරනවා වාගේ.
දැන් උඹලා යටත් කිව්වාම හරි අපි පරාදයි කියලා බාරගන්නවා වගේ සිද්ධියක්. එව්වට අපේ රටේ යුද්ධ. මට මතක් උනේම අපේ රණසූර ආමි කොල්ලෝ ටික. අනේ වාසනාවන්... ඉතින් මමයි තව එක ඉන්දියන් ගෝතයෙකුයි සෙට්උනා සාජ්ජේට. ඉතින් පටන් ගත්තේම ඒ කිව්වේ වෙල්කම් ඩ්‍රින්ක්රි එකම ඇල්කොහොලික් කියහන්කෝ. අනේ ඒපා කියලා එක හුස්මට ගහලා දැම්මා. ඔන්න කෙලි පොඩ්ඩක් ආවා මල්ලක් අරගෙන මොනවද ඇතුලේ ලාගෙන. ගන්න කියපි එකක්. ඔන්න අරගෙන බැලින්නම් මම ඉඳගන්න තැන. ඒක නම් අගේ වැඩේ.. නැත්නම් වෙනදා ගැට්ටටමනේ සෙට් වෙන්නේ. මං හිතෙන්නේ මේ කරමේ නම් අගය කොරන්න ඕනෑ.
තුන්ඩු දාලා ඉඳගන්න තැන දුන්නාම හැමදාම නොදකින එවුන් එක්ක ගැටෙනවානේ. මේකනේ වෙලා තියෙන්නේ අපේ රටේ කෙල්ලෙන්ගේ මහා ගැට්ටනේ. උන් හිතාන ඉන්නේ කොල්ලෙක් කතා කලාම පැණි හලනවා කියලා. බොරුවට පුම්බාන යන්නේනේ උන් තනන්නේ. මොනා කොරන්නද ජම්මේ හැටිනේ. ඉතින් මෙහෙම තුන්ඩු දාන්න ගියොත් අපේ කෙල්ලෝ ගෙදරින්ම තුන්ඩු හදාගෙන ඇවිල්ලා ඉස්සර වගේම එකම ගැට්ටට සෙට් වෙලා පුම්බාන් ඉඳින් අම්මපා..
ඒක වැඩක් නෑ...
ඔන්න සාජ්ජේ පටන් ගත්තා. අද කෑම මුන්දැලෑගේ පුරාණ විදියට කියාපි. ඒ කිව්වේ පටන් ගත්තේ සීතල කෑම. විශේෂ පාන්, බටර්, චීස්, ප්‍රොසෙස් කරපු සැමන් මාළු, බිත්තර.. මේ වගේ ජාති ගොඩයි. හැබැයි හැම එකක්ම සීතලයි.
ඔන්න ඒ රවුම බෙදාගෙන ආව. මෙන්න බොලේ මේසේ පුරා බීම. එතැන තිබ්බා විශේෂ නත්තල් බීර එකක්. අනේ ඉතින් දෙයියනේ කියලා නමා ගත්තා. ඔන්න දෙවැනි රවුම. ඒකේ තියෙන්නේ උණු කෑම. ඒ කියන්නේ තම්බාපු අල, පෙති ගහපු මස්, බැදපු අල, මීට් බෝල්ස්, සොසේජස් වගේ එව්වා.ඉතින් මේක බෙදාන ගියාම බෝලේ ආවනේ පොඩි කුප්පි සෙට් එකක්. ඒක ඕනෑළු මේ මස් කන්න, සැර 41.5%. අමුවේම ගහන්නත් ඕනෑ. අනේ එපා කියලා ඇදලා ඇරියා. (අතරින් පතරට අර විශේෂ බීර)
ඊළඟට අතුරුපසට පළතුරු. ඊටත් පස්සේ කෝපි. ඔන්න සරුවට කන වැඩේ නම් ඉවරයි. ඔන්න පටන් ගත්තා සින්දු කියන්න. ඊටත් පස්සේ නටන්න ගත්තා. (අතරින් පතරට අර විශේෂ බීර) මටත් ගාණට වැදිලා තියෙන එකේ මාරු වෙන්න වෙලාව හරි වගේ තේරුණා.
අර සුදු නැන්දා ආයෙත් අපේ වාසනාවට වගේ ගෙදරටම ගොසින් බැස්සුවා අනේ වාසනාවන්. ඉතින් මේ විදියටට උන්දැලෑගේ නත්තල් සාජ්ජෙකටත් ඔන්න සෙට් උනා.




