December 6, 2016

වාර්බර්ග් ගමන

ඔන්න මං ආවනේ ස්වීඩන් රටට පොඩි පහේ ඔෆීසියේ රාජකාරියකට. ඉතින් මෙහේ ඇවිල්ලා අදට සති දෙකකුත් ගෙවිලා ගියා. පහුවෙච්ච සතියේ සෙනසුරාදා අපේ සුදු නැන්දා අපිව එක්ක ගියා එයාගේ ගම රට පෙන්වන්න. ගොතම්බර්ග් කියන සිදාදියේ ඉඳලා හැතැම්ම 30, 40 එහා ගම් පොජ්ජක තමා එයා ජීවත් උනේ. ඉතින් මමයි, මගේ මිතුරියයි දෙන්නා කෝච්චි කට්ටක් සෙට් කරගෙන ගමන පිටත් උනා. අපේ රටේ වගේ කේක් ගෙඩි උස්සාන යතහැකෑ මේ සිදාදියේ. මෙහේ උන්දැලෑ ගෙනියන්නේ මල් තමා. ඒකත් කියන්නේ හරි පාට ගෙනියන්න එපැයි. එක එක පාටට එක එක අරුත. ඉතින් දර්ශියයි මමයි කරක් ගහලා ගහලා යන්තම් ගැලපෙනවා කියලා හිතිච්ච මල් ගහක්ම ගත්තා මලුත් එක්කම.

ඊට පස්සේ අපි දෙන්නා කෝච්චි කට්ටේ නැගලා යන්න ගත්තා. යකෝ ඒකේ දෙවැනි පන්තිය කිව්වට අපේ රටේ එකේ පන්තියේ එව්වට වැඩිය සැපනේ බොලන්. ඒත් අපිද ඔව්වා ගනන් ගන්නේ.!!! එකක් කියන්න ඕනෑ... මුං හැබැයි හරි වෙලාවටම ගමන. වෙලාව නම් වෙලාව. සක්කරයා එනවා කිව්වත් ඊළඟ එකේ තමා එන්න වෙන්නේ පරක්කු උනොත්.. ඒක නම් සිරා..

ඉතින් අපි ඔය කියන ගමට යනකොටම සුදු නැන්දා මග බලාන උන්නා. අපිව උනුහුම් හග් එකකින් පිළිඅරගෙන එක්කාන ගියා එයාගේ දූ පොඩ්ඩගේ වැඩ පෙන්වන්න. අනේ කියන්න ඇස්වහක් නෑ අගේ කෙලි පොඩ්ඩ. ඒකි පණ කඩාන හෑන්ඩ් බෝල ගහනවා. ඉතින් අපිත් දුන්නා පොඩි චියර් පාරක්. අපිටත් ඉතින් කැසිල්ලනේ..  ඉතින් කොහොමහරි ඒ සෙල්ලම් අහවර වෙලා ගියා දවල්ට කන්න. යන අතරේ බීච් එකටත් ගොඩ වෙන්න අමතක කලේ නෑ. රැල්ල පාගන්න කියලා හිතුනාට  කොහෙද මේ ගෙරි සීතලනේ. අනික අපේ වගේ සිරා රැල්ලකුත් තිබ්බේ නෑ. මට හිතුනා නැන්දාට කියන්න මෙව්වද බීච්.. අපේනේ තියෙන්නේ බීච් කියලා. ඒත් පව්නේ කියලා හිතලා කටට ඉබ්බා ලාගෙන හිටියා. ඉතින් ඊට පස්සේ ගියා කන්න.



අපි හිතුවේ පාන් ගිලින්න වෙයි කියලා. මොකද මෙහේ උන් ගිලින්නේම පාන්නේ. ඒත් ඒ පාන සිරා බොලව්. අපේ වගේ පුස් පානක් නෙමෙයි. පෙති දෙක කනකොට බඩ පිරෙනවා. අනේ මන්දා මොනවාදාලා හදනවාද කියලා. ඒත් අපේ නැන්දා අපිට පාන් ගිල්ලුවේ නෑනේ. දර්ශියයි නිර්මාංශ හින්දා මොකක්ද රොටියක් කෑවා. මම නම් දුන්නා හෙන ඉස්සෝ ගොඩකට. පට්ට රහයි. මුන් කියනවා මේ රටේ ලොකු ඉස්සො ඉන්නේ මේ පලාතේලු. මං ඉඳගෙන හිටිය හින්දා හරියට හිනාවෙන්න බැරි උනා බොලව්..


අපේ රටේ පොඩිම ඉස්සත් මීට ලොකුයි කියලා මට ආයෙත් කියන්න හිතුනා කියහන්කෝ.. ඉතින් නැන්දාගේ හිත පාරන්නේ මොටද කියලා වහගෙන හිටියා. කියන්න බැරි උනානේ ඉස්සෝ කනකොට බොන්නේ සිදු වයින්ලු. ඉතින් නැන්දා ඒකකුත් ඕඩර් කලානේ. ඉතින් කාලා බීලා ඉවරවෙලා ගියා නැන්දාගේ ගෙදරට. ලස්සන පොඩි පැල්පත.. ඉතින් ගොහිල්ලා කෝපි දුන්නේ නැතෑ. මට අල්ලන්නේ නෑ ඔය කලු කෝපිය. ඒකටත් එක්ක දර්ශිය. මේකි එක හුස්මට ඇදලා ඇරපි. පස්සේ තමා දෙන්නේ ඒකි බීලා තියෙන්නේ බඩේ ආරස්සාවට....

 ඉතින් ඊටත් පස්සේ එයාගේ රතගායෙන්ම අපිව අපේ සිදාදි පොජ්ජට ගෙනත් ඇරලුවා. අපිත් එයාට සමුදීලා අපේ ගේ පොජ්ජට කකුල් පැද්දුවා හිමීටම.

මේ ඉන්නේ අපේ සුදු නැන්දා...

8 comments:

  1. පහසුවෙන් කියෙව්වා. අත්දැකීම මෙන්ම ලිවීමත් ලස්සනයි

    ReplyDelete
  2. //මං ඉඳගෙන හිටිය හින්දා හරියට හිනාවෙන්න බැරි උනා බොලව්..// Epic :D

    ReplyDelete
  3. හැක්... හැක්.. නියමයි.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!