March 5, 2014

අවසන වෙන්නේ වරිගෙත් නහ ගන්න තමා

යටගිය දිනෙක මහා ඇදුරු ගුත්තිල, අකුරු කෙරැවූ කෙළෙහි ගුණ නොමදන්නා මූසිලයන් වන් එක් රුවැති එහෙත් තමා සන්තකයේ කිසිත් නොමැති බව නොමදත් ළඳක් හා කවි කෙලියෙහි පරතෙරට පැමිණි සිටි එක් දිළිඳු සංකට අඟ පසකින් යුතු නොවූ කෙසඟ සිරුරින් යුත් යාචකයෙකු හා අතර කෙරුණු සංවාදය අවසන් කිරීමට යෙදුනු මොහොතේ තමාගේ තරම දැනුම අමතක කොටැ යාචකයාගේ හසල දැනුමද අවතක්සේරු කරැමින් ඔහුගේ අවලස්සන ගැන මැසිවිලි තනන්නට වූයේන් හේ මෙසේ පද අහුලමින් අවවාදයේ පිහිටනාසේ කියන්නට වියැ.




පිහිටුවා නිසි ගණ නිසි අයුරින් කියත් පද
කිව්වොත් කවක් සිදුවෙයි එහි අරුත් මැද
සෙත් කවි මෙන්ම වස් කවියත් වියත් ලද
ගෙනඑයි ඉසුරු පහ කරමින් විපත් අද

යම් වරදක් දුටු සැනකින් නොකිපී සිටිනු
කෝපය නැසුම අරඹන තුරු ඉවසා සිටිනු
නුරුසන එකා හට නම් මේ බස නොදෙනු
ලෙසටයි මෙමට ඉගෙනුම එදවස කෙරුනු

කරනට විපත් ලොල් වී යම් කවි පතෙකින්
හරිහැටි ඇඳින ගැබ් අරුතත් මන් සිතෙකින්
කරපන් අදොෂ නිසි ලෙසකින් ගණ තබමින්
එපා කරන්නට පිළිවදන් වස් කවියෙන්

යටගිය දිනෙක කල කරුණක් නිසාවෙන්
විය හැකි අනර්ථ අඟපසටත් මනාවෙන්
කිසිවෙට ප්‍රහසන එපා විහිඟුම් සිනාවෙන්
නොදැන කරන පව පලදෙයි අනාවෙන්

අබරණ ගෙනෙයි සැමවිට මන කැලඹීම
සුන්දර නොමැති කතකට වෙයි ගැලපීම
විලවුන් ගෙනෙයි සැමවිට සිත සැනසීම
පුසුඹ නොමැති කතකට වෙයි ගැලපීම

පමණ නොදැන මිනිසුන් වෙත බැල්ම දමා
අරඹනු එපා වාද කෙරුම නොකර කමා
සිතුවත් දිනිය හැකියැයි මුළු වෙරම දමා
අවසන වෙන්නේ වරිගෙත් නහ ගන්න තමා