නිලූක, කාශ්‍යපට පැරදුනාද යන්න ගැන කතා කිරීමට පෙර ඔහුගේ ජයග්‍රහණය ගැන අප කතා කල යුතුයි.
නිලූක ලොව අංක 8 දරණ ජපාන ක්‍රීඩකයා පරාජය කලේය. එය අප ලද මහා ජයග්‍රහණයකි. ඔහු ලංකාවේ බැට්මිටන් ලොවට නව එළියක් ගෙනාවේ නව පිටු පෙරළමින් ලෝකයා මවිත කරමින්ය. මේ ගැන අප පිටු පුරා අකුරු කරන්නට හැකිය. නමුත් කාශ්‍යප හමුවේ ඔහුට උනේ කුමක්ද යන්න යාන්තමින් හෝ විමසා බැලිය යුතුය. ඔහු පළමු හා දෙවන තරඟ වාරයන් මනාව ක්‍රීඩා කළේය. ඒ බව තරඟය බැලූ ඕනෑම අයෙකුට සක්සුදක් සේ පැහැදිළිය. නමුත් අවසාන වටයේදී ඔහුගේ කිසියම් පසුබෑමක් දිස්වන්නට විය. ඉංදීය ක්‍රීඩකයා අසාර්ථක වන සෑම අවස්ථාවකදීම ඔහුගේ පුහුණුකරු කිසියම් උපදෙස්, උපක්‍රම ලබා දුන් බව තරඟයේ කැපී පෙනෙන්නට විය. නමුත් නිලූක අසාර්ථක වන අවස්ථාවේදී ඔහු කලේ තනිවම වතුර පොදක් තොල ගෑම පමණිකි. මහාමෙරක් තරම් බරක් හිසට දැනෙන විට එය පුළුන් රොදක් කිරීමේ හැකියාව ඇති එකම පුද්ගලයා ඔහුගේ පුහුණුකරු, රන් හා වටිනා මිනිත්තුවේදී ඔහු කොහිද? ඔහු හිතාමතාම නිවසේ රැඳුනාද? නැත්නම් ඔහුට රැඳෙන්නට සිදු වීද?
අප දුප්පත් රටක් බව පුන පුනා කීමට උවමනා නොමැත. නමුත් අපට කල හැකි යමක් ද නැතුවාම නොවේ. ඔලිම්පික් හෝ මොනයම් ලෝක තරඟයක් හෝ වේවා එහි ක්‍රීඩා කරන්නෝද පිටසක්වල ජීවින් නොවෙති. එමෙන්ම ඔවුනොවුන්ගේ දක්ෂතා අතරද මහා ලොකු වෙනසක් නොවෙති. එසේනම් වෙනස ඇත්තේ ඔවුන්ගේ අවට පරිසරයේය. එනම් පුහුණුවීම් හා පහසුකම් මතය. සෑම ක්‍රීඩකයකුටම අපට දිය හැකි උපරිමය දිය යුතුය. එමෙන්ම නිසි ක්‍රීඩකයා තරඟයට යැවිය යුතුය. ලොකු ලොක්කන්ගේ උවමනා එපාකම් මත ඒවා සිදු නොවිය යුතුය. ලංකාවේ ක්‍රිකට් වලට සිදුවී ඇත්තේද මෙවැනිම දෙයක් නොවේද? එය දැන් දැන් අනෙකුත් ක්‍රීඩා සඳහාද විසරණය වන බවක් නිතැතින්ම දැනෙන්නේය.
ඒවා කෙසේ වෙතත් කිසියම් තරඟයක් උඩු යටිකුරු කරන්නේ පුහුණුකරු විසිනි. පුහුණුකරු නොමැතිව නිලූක කල සටන අප කවුරුත් අගය කල යුතුය. කිසියම් හෙයකින් පුහුණුකරු සිටියා නම් නිලූක ජය ලබන්නට බොහෝ ඉඩ නොතිබුනා නොවේ. කාශ්‍යප ද සැබැ දක්ෂයෙකි. එයද අමතක නොකල යුතුය. නිලූක පැරදුනා නොව පැරැද්දුවා යන්න මාගේ මතයයි. ක්‍රීඩා ඉසව් මුවාවෙන් අපේ මුදල් නාස්ති කරමින් බාල් නැටීමට යන අපේ පුදගලියින් එකෙක් වෙනුවට මේ පුහුණුකරු යැව්වේ වී නම් අද මේ කතාව ලියැවෙන්නේ වෙනමම අයුරකිනි.
මේ ගැන නිසි බලධාරීන් විවෘත මනසකින් කටයුතු කරාවියැයි අප නෙත් යොමා බලා සිටින්නෙමු.