December 5, 2012

සිතන්නට යමක්



මෙය හුදෙක්ම අප විසින් දැන හෝ නොදැන කරන්නාවූ වැරැද්දකි. දරුවන් අපේ අනාගතය මෙන්ම පාසලේද, රටේද, මුළු ලෝකයේමද අනාගතය වන්නේය. එමනිසා ඔවුන්ගේ අධ්‍යාපනය අපට මෙන්ම පාසලටද, රටටද, මුළු ලෝකයටමද ඉතා වටිනා අංගයක් බව පුන පුනා කිවයුත්තක් නොවන්නේය. ඒ කෙරන් අප විසින් ඒ සඳහා මහත් උනන්දුවක්, අවධානයක් යොමු කිරීම නිතැතින්ම අපේ සිත් තුල ගොඩනැගිය යුතු කරුණක් විය යුත්තේය. අප විසින් ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා යොදන වෙරය මතු යම් දිනෙක අප සියල්ලන්ගේම සිත් පහන කරන කාරුණක් වන බව සක් සුදක් මෙන් කාහටත් පැහැදිළිය. මේ බව වඩාත් තේරුම් ගත යුත්තේ අපේ දෙමාපියන් බව බොහේ දෙනාගේ මතය වුවත් ගුරුවන්ගේ වෙර වීර්ය ගැන බෝහෝ දෙනා අමතක කරන්නේය. ඒ හුදෙක්ම ඒ සියල්ල මුදලට යට කර ඇති බැවිනි. පාසල් අධ්‍යාපනයට මෙන්ම උසස් අධ්‍යාපනයටත් එය දැන් වී හමාරය. දැන් ඉතුරුව ඇත්තේ පෙර පාසල් අධ්‍යාපනය පමණකි. පෙර පාසැල් අධ්‍යාපනයට එහෙන් මෙහෙන් කණ කොකා හඬලනු යන්තම් හෝ ඔබටත් දැනෙන්නට ඉඩ නැතුවාම නොවේ. ඒ නම් ඔබට හෝ ඔබේ සමීපතයකුට පෙර පාසල් යන වයසේ කුඩා දරුවකු සිටීම නිස වන්නට හැකිය. මේ ලිපිය හුදෙක් ගොඩ නැගෙනුයේ මා ලද කිසියම් අත්දැකීම් හා සමීපතයන්ගෙන් ලද අදහස් උදහස් අනුවය. එමනිසා මෙහි අඩංගුවන කරුණු හුදෙක්ම නිවරද නොවන්නට බොහෝ ඉඩ ඇත්තේය.

මීට සති කිහිපයකට කලින් අප සියල්ලෝ විසින් "ළමා දිනය" මහා උත්සවාකාරයෙන් සමරන්නට විය. සමහර දෙමාපියන්ට එය අමතකවුවත් ගුරුවරුන් එය මතක් කර දීමට තරම් කාරුණික වූහ. එය එසේ වූයේ හුදෙක් ඔවුන්ට කිසියම් ගතමනාවක් හෝ වාසියක් ලබා ගැනීමේ අරමුණින් නොවන බව නම් නිවැරදිව පැවසිය හැක්කක් නොවේ. මෙම සිද්ධිය සිදුවූයේ පිළියන්දල අවට ඇති එක්තරා පෙර පාසලකය. එහි නම මේ ලිපියට ඇතුලත් නොකලත් මෙවන් සිද්ධීන් නිරතුරුව සිදුවන්නේ නම් එය පළ කිරීම කිසියම් අයෙකුට යහපතක්ම නොවන බව සිතීමට උගහය.

එදා පෙර පැවසූ පරිදිම ළමාදිනය වූයේය. මේ සඳහා මෙම පෙර පාසැලද කුමක් හෝ විශේෂ කටයුත්තක් කල යුතුයැයි සිතන්නට ඇත. ඒ සඳහා ඔවුන් තෝරා ගතතේ (සිතුවම්) දැක්මක් එනම් (චිත්‍ර) ප්‍රදර්ශණයක් පැවැත්වීමය. මේ වෙනුවෙන් කලයුතු කටයුතු බොහෝමයක් වන්නේය. ප්‍රධානම කටයුත්ත වන්නේ දරුවන් ලවා ඔවුන්ගේ සිතුවම් ඇන්ඳවීමක් හෝ කිසියම් කටයුත්තක් කරවා අවසන් ප්‍රථිපලය විදහා දැක්වීමය. (මෙහි සිතුවම් දැක්මක්යැයි ලෙස නම් කලේ බොහෝමයක් තිබුණේ සිතුවම් බැවිනුත් මේ කුමනාකාරයේ කටයුත්ත්දැයි කිසිවෙක් දැන නොසිටීම නිසාවෙනි. මෙය හුදෙක්ම මීට හාත්පසින්ම වෙනස් වී දැක්මක් වුනාදැයි යන්න නිවැරදිව කිව නොහැකිය.) අප බොහෝ දෙනා පාසැලේදි හෝ ඉන් බාහිරව මේවැනි දේ කර ඇත. එහිදී ඒ වෙනුවෙන් අප විසින් හෙලූ දහඩිය මෙපමණයැයි මායිම් කල නොහැක. නමුත් එක සත්‍යයයක් වන්නේ අප වෙහෙසුන තරම වැඩි නම්, කැප වී කල කටයුතු වැඩිනම් එහි සාර්ථකත්වයත් වැඩි බවත් අලසව සිට කටයුතු කිරීමෙන් ලැබෙන්නේ අලස ප්‍රථිපලයක් බවත්ය.

ගුරුවරුන් දරුවන්ට ආදරේය. විශේෂයෙන් කුඩා දරුවන්ට එය අති මහත්ය. එම කණ්ඩායම දැන් ප්ලේ ගෲප් (Play Group) ලෙසින් අලුත් වෙළඳ නාමයකින් අප අතරට පැමිණ ඇත්තේය. එහි කිසිදු වරදක් නැත්තේය. වරද ඇත්තේ මෙසේ විකුණන දෙය සතු ගුණාත්මකබාවයේය. පෙරපාසැල් අතර ඇති සිසිල් ගින්න ගැනද වෙනමම කතා කලයුතු වන්නේය. ඒ කෙසේ වෙතත් පෙර පැවසූ පෙර පාසල සූදානම් කල සිතුවම් දැක්ම සැලකූ කල්හි එහි නම් බොහෝ අඩුපාඩු වන්නට විය. අප කා අතින් වුවත් වැරදි සිදුවන්නේය. නමුත් නොසැලකිල්ල නිසා සිදුවන වැරදි සඳහා ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල නොවේද? මෙය කිනම් වූ දැක්මදැයි එතැනට පැමිණ සිටි බොහෝ දෙමාපියෝ නොදැන සිටියහ. සමහරු මෙය සිතුවම් දැක්මයැයි සිතූහ. සහරු එය අත්කම් දැක්මයැයි සිතූහ. සමහරෙක් මේ කිසිවකුත් දැන නොසිටියහ. මෙය පළමු වරදයි. මෙහි අඩු පාඩුව ඇත්තේ හුදෙක්ම පරිපාලනයේය. පළමුව දැනුවත් කල යුත්තේ ගුරුවරුන්ය. දෙවැනුව දෙමාපියන්ය. දෙමාපියන් දැණුවත් කිරීමෙහිලා අපහට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැන අවබෝධයක් පරිපාලනයට හෝ ගුරුවරුන්ට නොමැති නම් ඔවුන් ඒ පුටුවලින් ඉවත් වී කල හැක්කෙකුට දිය යුතුය. මා ගුරුවරයෙක් හෝ පරිපාලන නිළධරයෙක් වූවා නම් ගුරුවන් කැඳවා අප කරන්නේ කුමක්ද, කරන්නේ කෙසේද යන්න ගැන විවෘත සංවාදයක් ගොඩ නංවා එහි ප්‍රථිපලයන් මනවා පැහැදිළිව දරුවන්නේ දෙමාපියන්ට ලැබෙන්න්ට සලස්වන්නේ බොහෝ වුවමනාවෙනි. පසුව එය තහවුරු කරගැනීමත් සිදු කරන්නේ නිතැතිනි. ඒ වෙනුවෙන් පන්ති කාමරයේ හෝ ප්‍රධාන දැන්වීම් පුවරුවේ සටහන් කිරීමට අමතක නොකරමි. ගුරු-දෙගුරු සටහන් පොතේ පැහැදිළිව ලියා යවමි. එය තේරුම් ගත් බවට පිළිතුරු එවන මෙන් දන්වා යවමි. මේ ආකාරයෙන් දෙමාපියන් දැනුවත් කරවූ කල්හි ඔවුන්ද වඩා උනන්දුවෙන් තම දරුවන් කටයුත්ත සඳහා ක්‍රියාත්මක වන්නේය. සියල්ලම ගුරුවරුන්ට පවරන්නට නොවන්නේය. මෙසේ මා දොස් නගනුයේ මා දන්නා මවකට මේ දිනය ගැන තොරතුරු දැන ගත්තේ පෙර දිනයේ බවත් එයත් නිවැරදිව ලත් තොරතුරක් නොවන බවත් මා හා පුන පුනා කියමින් සිටි බැවිනි. තවද ඇය වැවසුයේ මේ බව අඩුම තරමින් දින දෙකකටවත් කලින් දැන ගත්තානම් දරුවා සමග විනෝදයෙන්ම කිසියම් කටයුත්තක් කර ඔහුටද කිසියම් දෙයක් කියාදී සතුටෙන් කිරීමට ඉඩ තිබුණ බවය. ඇය පාසැල ගැනද ගුරුවරුන් ගැනද දොස් නගමින් සිටින්නට වූයෙන් මා එතැනින් ඉවත්වූවත් එහි කිසියම් පාඩමක්/උපදෙසක් නැතුවාම නොවේ. (ඇය බොරුවක් කීවා වන්නටද ඉඩ නැතුවාමත් නොවේ.)

තවත් එක් විශේෂ සිද්ධියක් වනුයේ නිවේදන කටයුතු කල ආකාරයය. නිවේදන කටයුතු කිරීමෙහිලා දෙදෙනෙක් වන්නට වූ අතර භාෂා දෙදෙකින් යුක්ත විය. අපේ මව් බසින් කල නිවේදන කටයුතු ගැන සෑහිමකට පත් වුවත් ඉංග්‍රීසි බසින් කලාවූ නිවේදන නම් සතුටුදායක නොවීය. උදාහරණයකට මෙය දක්වමි.

ඔයිල් ලෑප්ම් එක පත්තු කිරීමට....

මෙම වැකිය කිසිම බසකට නත්තේය. ඔයිල් ලෑම්ප් එකෙන් පටන් ගත්තා නම් අඩුම ගානේ ලයිට්නින් කියලාවත් කියන්න ඕනෑය. පත්තු කරනවා කියන්නේ කියන භාෂාවෙන්ය. චිරානුගත වගේ ලස්සන වදන් නැතුව වුවත් මෙය සරලව පොල් තෙල් පහන දැල්වීමට කාරුණික ආරාධනය යනුවෙන් පවසිය හැකිව නොතිබුණා නොවේ. ඇය කලේ තමන්ගේ සායම යවා පාසැලේද සායම යැවීමය. මෙසේ වන්නේ හුදෙක්ම සූදානම නැතිකම නොවේද? මේ ගැන පරිපාලනය මෙන්ම අදාළ ගුරුවරියද තවත් වරක් සිතිය යුතුය. තවද මෙම දැක්මේ න්‍යාය පත්‍රය සියළුම දෙමාපියන් වෙත ලැබෙන්නට සැලැස්විය යුතුය. කිසියම් ප්‍රසිද්ධ ස්ථානයක අලවා තැබිය යුතුය. මේවා අප විසින් සිවයුතු දේ නොවේ. සාමාන්‍යය පරිපාලන සේවයේ නියුත්ත වූවන්ගේ සිත්හි නිතර නැගෙනා සිතිවිලි දාමයන්ය.

තවත් බොහෝ කරුණු කාරණා තිබුණත් ඒ ගැන විචාරයට වඩා වැදගත් වනුයේ මෙම ලිපිය කියවන කිසිවෙක් වෙත්නම් මේ ගැන නැවතවරක් සිතීමය. ඔබ පෙර පාසැල් ගුරුවරයෙක් නම් දෙමාපියන් අතර ඇති සබැඳියාව වැඩි කරන්න උපක්‍රම සිතන්න. මේ කියන්නේ අත යටින් ගහන්න කියන එක නොවේය. සමහර දෙමාපියන් කාර්ය බහුලය. සමහරු දැනුමෙන් අවමය. ලැජ්ජාශීලීය. නිහඬය.මේ ගැන ඔබ නැවත වරක් සිතන්න. ඔවුන් ඔබේ මිතුරන්ය. ඔබ මෙය කරන්නේ රුපියල් සත නිසා නොවන බව සිතන්න. ඔබ පරිපාලන කටයුතු කරන්නෙක්නම් ඔබට දහසක් දේ කරන්නට ඇත. මෙය ඔබේ ජීවනෝපාය බව සත්‍යයකි. නමුත් දෙමාපියන් ඔබේ ගනුදෙණුකරුවා පමණක්ම නොවන බව සිතන්න. ඔවුන්ට වැඩිපුර යමක් දෙන්නට සිතන්න. ඔබ පාසැලට දරුවා යවන මවක් හෝ පියෙක් නම් මීට වඩා ගුරුවරුන් හා සබඳකම් පවත්වන්නට උත්සුක වන්න. නැවතත් කියන්නට වන්නේ ඔබ විසින් අල්ලස්/තෑසි බෝග දීම නොවේය. ගුරුවරයාගේ හොඳ නරක දකින්නේ ඔබය. ඒ බව නොපැකිලව ඔවුන්ට පවසන්න. එය ඔවුන්ට කරනා ලොකුම උපකාරයයි. තැන තැන ඔවුන්ගේ වැරදි කීම කාටත් වැඩක් නොවන්නේය. එඩිතර වන්න. කෙසේ වෙතත් මේ සියල්ලම ඔබේ දරුවා වෙනුවෙනි. ගම වෙනුවෙනි. පාසැල වෙනුවෙනි. රට වෙනුවෙනි.


මොහොතක් සිතන්න.



6 comments:

  1. අද මාත් මේ මොන්ටිසෝරි කතාවක් ඉවර කළා විතරයි අපේ මාමත් එක්ක.. පොඩ්ඩා‌ෙග් මොන්ටිසෝරියේ උපන් දින වලට කරන විකාර ගැන හරිම කළකිරීමෙන් කතා කළා.. ඇත්ත.. කෙල්ලට ඒන්ජල් කෙනෙක් වගේ අන්දලා, කේක් කපලා, අනිත් ළමයින්ට තෑගි දීලා...

    ඇයි දෙයියනේ හැම දෙමවුපියන්ට මේවා කරන්න පුළුවන්ද.. ඊට වැඩිය හොඳ නැද්ද හැම ළමයටම පොදු විදියේ ක්‍රමයක් පාසලින්ම හදන එක... හැමෝටම දරා ගන්න පුළුවන් දෙයක් කරන එක...

    කිසිම දේක සංවිධානාත්මක බවක් නැති උත්සව වලට අපි කොච්චර ගිහින් තියෙනවද... ඒවා නිකම්ම මඩිය තර කරගන්න මිසක් දරුවන්ට හොඳක් කරන්න හිතාගෙන කරන දේවල් නෙවෙයි කියලා හොදට පේනවා...

    මේ අස්සට හරිම වැදගත්, දරුවන්ට හරි විදියට සලකන, නිසි ක්‍රමවේදයක් තියෙන පෙර පාසල් තියෙනවා... ඒත් මුදල් විසි කරන්න පුළුවන් දෙමව්පියෝ ඒ වගේ තැනුත් විනාස කරනවා...

    ReplyDelete
  2. කතා කරල වැඩක්නෑ.. සමහර(වැදගත්) ගුරුවරු ඉස්කෝලෙ ඉගැන්නිල්ල බාගෙට කරල ටියුෂන් දෙනව..
    වැදගත් කාරණයක්.. අර න්‍යාය පත්‍රය ප්‍රසිද්ධියේ පෙන්නන එක කරන්නෙ කීයෙන් නී දෙනාද?? දන්නෙ කීයෙන් කී දෙනාද??
    ළමයි ඉදිරියේ කතා කරන වචනයක් පවා ඔවුන්ගෙ අනාගතය වෙනස් කිරීමට බලපානව.. ඒ නිසා භාෂා භාවිතය ගැන හැමෝම බුද්ධිය්‍මත් වෙන්න ඕන...

    ReplyDelete
  3. අවිධිමත් පෙර පාසල් අධ්‍යාපනය සමහර ළමයි උපන්ගෙයිම මොට කරනවා... ළමයින්ගෙ සුන්දර ළමා කාලය අහිමි කරලා අද සමාජය හැල්මෙ දුවන රේස් එකට කියලා දරුවා අවුරුදු දෙක හමාරෙන් හෝ තුනෙන් පෙර පාසල් වලට ගෙන ගොස් භාර දීම මම නම් තරයේ හෙලා දකිමි.

    ReplyDelete
  4. මෙහෙම බලාගෙන ගියහම ඒ අතින් අපි හරි වාසනාවන්තයි. අපට මේ විකාර තිඋන් නෑ ළ්(

    ReplyDelete
  5. මට මල පැනලා තියෙන්නේ මේ මොන්ටොසොරී වලයි බලාංශේ පංතිවලයිකරන වැඩ වලට.....මොන්ටිසෝරීවල විවිධ ප්‍රසංග තියෙන්නේ ලමයිනේ තියෙන හැකියාවන් එකියට ගන්න වඩා මොන්ටිසෝරී වල පම්පෝරී වැඩ වලට..හැම මාසෙම මොකක් හරි අට් මගලයක් අටවගෙන සල්ලි එක්තු කරනවා...දෙමව්පියොත් ඉතින් ලමයිකොන් වෙයි කියලා අමාරුවෙන් හරි ඉල්ලන ඉල්ලන ගනන් දෙනවා....ඇති හැකි අය කැපිලා පේනනත් එක්ක පැන පැන දෙනවා....දැන් ඉස්කෝල වල බාලාංශ පන්තියි, මොන්ටිසෝරීයී, ප්ලේ ගෲප් කියන්නෙයි දෙමව්පියන්ගේන් කීයක් හරි කඩා ගන්න තැන් වෙලා..

    ReplyDelete
  6. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!