April 11, 2018

අලුත් අවුරුද්දට පොඩ්ඩක් කලියෙන්

ගෝලීයකරණ ප්‍රවේශයන් හරහා විචලනය වෙමින් පවතින සමාජීය හා සංස්කෘතික යාන්ත්‍රණයන් ඔස්සේ අධි ප්‍රවේගයකින් චලනය වන්නා වූ අපේ ජීවිතවලින් පහසුවෙන් අතපසුවන්නට මහත් සම්භාවිතාවයක් ඇත්තා වූ බොහෝ කරුණු මත්තෙන් එකක් වූ යහජීවනය යළි පණ පොවන්නටනම පමණක් නොවී යුතුකම් ඉටු කර සහෘර්ද කැලක් ලෙසින්, ඉඳහිට හෝ වේලාවට පැමිණෙන, බොරුවට හෝ සැරදමන, මුවින් නොබැන දහස්වර සිතින් බනින, අනන්‍යමය ගීත ස්වරයන්ට ලොල් වූ,"කලබලය/හදිස්සිය" යන්නේ අරුත් නොදන්නා, රජයේ හෝ බැංකුවේ සේවා කරන ලෙස සිතා සිටින, නිතරම සිනා මුවින් සිටින, අපේ රියැදුරු "මලිත්" මහතා බිඳකුදු කරදරකින් තොරවම අප ගෙනයන කාරිය ඇගයුම් කරන්නට සද්භාවයෙන් කරන්නා වූ ප්‍රයත්නයක්, යතාර්ථයක් කරන්නට නවම් ඇරයුම්, නව වසරට මොහොතක් මත්තෙන් ඔබටත්...

මේ තියෙන්නේ විකාරයක් වගේ පෙන්නේ එකපාරටම. ඇත්තටම කිව්වොත් ගොඩක් අයට එක පාරක් කියවලා තේරුම් ගන්න පොඩ්ඩක් විතර අමාරුයි, මොකද මේක හෙන දිග වාක්‍යයක්නේ. ඒ මොක උනත් කෙටියෙන් කිව්වාම මලිත් කියන ඩැයිවර්ට අලුත් අවුරුද්ද ලබන වෙලාවේ පොඩි තෑග්ගක් දෙන්න සපෝර්ට් එකක් දෙන්න කියලා නම් තේරුනා ගොඩක් අයට.
අනික මලිත්ගේ ගති ලක්ෂණ ටිකත් පොඩ්ඩක් පැහැදිලියි. ඇත්තටම මෑන්ස් පට්ට කූල් එකේ ඉන්නේ. මං දැකලාම නෑ තරහ ගිහින් තියෙනවා. වැඩිම උනොත් හෝන් එක ඔබයි පොඩ්ඩක් සැරෙන්..
ලොල්යැ...

හැබැයි එකක් කියන්න ඕනෑ, මැන්ස්ගේ පරිස්සම පට්ට. දන්නවනේ ඔය බස්කාරයෝ පාරේ යන හැටි. උන්ටම ගියපු රට මේක. සුක්කානමෙන් නෙමෙයි උන් එලවන්නේ හෝන් එකෙන්. අපි හැංගිලා ඉන්න ඕනෑ පාරෙන් එලියට ගිහින්. අනේ ඒකට අපේ කොල්ලා. කොල්ලා කිව්වට ඌට  බබාලත් ඉන්නව.
හෙක්ස්...

තව එකක්. මූ හිතාගෙන ඉන්නේ බස් ඩැයිවර් වැඩේ රජයේ සේවයක් හරි බැංකු සේවයේ හරි කියලා. ඒ මොකෝ දන්නවද. මලිතා ඒ නිවාඩු දවස්වලට එන්නේ නෑ කියහන්කෝ (මං හිතන්නේ මේ ඩැයුවර්ලා සෙට් එකම කරන වැඩක් වෙන්න ඇති.)
වෙලාවට එන්නේ නැති එකට නම් බස් එකේ යන අපිම තමා වග කියන්න ඕනෑ. මං දන්න තව ඩැයිවර්ලා ඉන්නවා අපි පරක්කු නම්, ඒ කියන්නේ වෙනදා ගන්න තැන නැත්නම් රුං ගාලා යනවා අපි නිවාඩු කියලා හිතලා. අනේ අපේ මලිත් නම් එනකම්ම ඉන්නවා. පව් හොඳ කොල්ලා. ඒකමයි කාරිය කියලා අපේ සෙට් එකත් පැද්දි පැද්දි එනවා. ඒකනම් හදාගන්න ඕනෑ කොලිටියක්. මොකද එකෙක් විනාඩි දෙක ගානේ පරක්කු උනොත් ඔක්කොමලා එනකොට විනාඩි 40ක් විතරම පරක්කු නොවැ. බඩුම තමා... ඉඳල හිටලා, ඒ කියන්නේ සතියට දවසක් නෙමෙයි හොඳේ, පරක්කු උනාට කමක් නෑ මං හිතන්නේ. ඒත් මොකටද අප්පා අනුන්ට කරදර කරන්නේ තමන්ගේ වැඩේ හරියට නොකර. අතේ ඇඟිලි පහ එක වාගේ නෑනේ...

දැන් දැන් සමාජේ බටහිර පන්නේට ගිහින්නේ. ඉතින් අල්ලපු ගෙදර නෙමෙයි, එකම කොම්පැණියේ අල්ලපු සීට් එකේ ඉන්න මිනිහා එක්කවත් හිනා වෙන්නේ කතා කරන්නේ නැති ලෝකයක් මේක. මිනිස්සුන්ට සමාජ සම්බන්ධ ඔක්කොම ඩිජිටල් වෙලා. ඔක්කොම ෆේෂ් බුක් එකෙන් තමා වෙන්නේ. පට්ට අතාත්වික ලෝකෙක ජීවත් වෙන්න පුරුදු වෙලා. ඉතින් හරි වැරැද්ද මොකද්ද කියන්න මං දන්නේ නෑ. ඒ කෝක උනත් එකිනෙකාට උදව් කරනගෙන සතුටින්, සමාදානයෙන් ජීවත් වෙන එක නම් හරි කියලා මං දන්නවා. ඉතින් ඒක කරන්න හොඳ වෙලාවක් මේ සිංහල අලුත් අවුරුද්ද.

ඕක අස්සෙ තමා හිතුනේ මලිත් කොල්ලට අවුරුද්දට පොඩි සප් එකක් දෙන්න. අපි ගොඩක් අයට අවුරුද්දට සැරයක් බෝනස් වගේ මොනවා හරි හම්බ වෙනවනේ. මේ ඩැයිවර් රස්සාවේ කොහෙද එහෙම එකක්. ඔව්වා ඔහොම යනකොට අසංකයා මගෙන් ඇහුවා අවුරුද්දට අරූට මොනවා හරි දෙනවද, කොහොමද වෙන්නේ කියලා. ඒකට සෙට් උනා චමරියයි, යචීයයි. ඉතින් අපි හිතුවා පොඩි කොලයක් දාමු කියලා. ඒකට ලියපු ලියමන තමා උඩ තියෙන්නේ.

අනේ කියලා වැඩක් නෑ බස් එකේ සෙට් එක සර සර ගාලා සල්ලි දුන්නා. අපි කස්ටිය 20කට වැඩිය ඉන්නවා. ඒ වගේම රුපියල් විසිදාහකට වැඩියෙන් එකතු උනා. ඒකෙන් පොඩි පණිවිඩයකුත් කියවෙනවා. අපේ බස් එකේ කස්ටිය වැඩිය කතා බහ නෑ, තමන්ගේ පාඩුවේ යන්නේ. ගොඩක් අය අලුත්, හවසට මහන්සියි, සෙට් වෙන්න කැමති උනත් පටන් ගන්න විදියකුත් එපැයි.. ඔය වගේ හේතු කාරණා ගොඩක් හින්දා සද්ද බද්ද නෑ.

ඒත් මෙන්න අර වැඩේ පටන් ගත්තා විතරයි කස්ටිය මාර ගැම්මට සප්. කොච්චරද කිව්වොත් බස් එකට අලුතෙන්ම සෙට් උන අයියා කෙනෙක් ඒ වෙලාවෙම සල්ලි දුන්නා ආයේ දෙපාරක් හිතුවේ නෑ. පට්ට පට පට. දර්ශි මේ හේතුවටම ලන්ච් වෙලාවේ බැංකු ගිහින් සල්ලි ගෙනාව. මොකද අතේ සල්ලි තියාගන්නේ නෑනේ ඔක්කොම කාඩ් සීන්නේ. ඒ කියන්නේ අපි තවමත් ශ්‍රී ලාංකික අපේ සංස්කෘතික සම්බන්ධකම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ආසාවේ බෑ ඒව්වා දකිනකොට නම්. ඉතින් ඔහොම ගිහින් දවස් දෙක තුනෙන්ම අපේ වැඩේ පට්ටම සාර්ථක විදියට අහවර කලා.

තව ඉතුරු වෙලා තියෙන්නේ ස්තුති කතාව විතරයි. වැඩක් කරල ඉවර නම් අන්තිමට ඉරක් ඇඳපන් කියලා මගෙ තාත්තා හැමදාම කියනවා. ඒ හින්දා ඒ ලියමනත් ලියන්න ඕනෑ හනිකට.
එහෙනම් අදට ගියා.
ටටා...